මතක වන්නිය
තමන් තුළ ඇති වේදනාවන් සඟවමින් සිනාසීමේ හැකියාව පවතින්නේ ඉතා සීමිත පිරිසකටය. එම හැකියාව නිසාම ඔවුන් අන් අයගෙන් නිතරම කැපී පෙනේ. මෙරට තුළ එලෙස සිනාසීමට උත්සහ දරණ පළාතක් තිබේ යැයි කිවහොත් ඔබ පුදුම වනවා ඇති. සමහර විට ඔබේ නිගමනය නිවැරදි විය හැකිය. මා එලෙස අදහස් කරන්නේ උතුරු පළාත ගැනය. වසර 30කට අධිකව පැවැති සිවිල් යුද්ධයෙහි වේදනාවන් සඟවමින් යළිත් එම පළාත නැගි සිටින්නට පටන් ගෙන ඇත. සත්‍ය වශයෙන්ම එය විශ්මිත ක්‍රියාවකි. එහෙත් දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධය අවසන්වී වසර 11ක් ගතවී ඇතත්, එම ජනයා ලැබු තුවාල සුව කිරීමට නොහැකි වීම ගැන මා කණගාටු වෙමි. තුවාල සුව කිරීම යනු හුදෙක් දේශපාලන විසඳුම් නොවේ.
යුද්ධයකට ඔබත් මමත් සෘජුව හෝ වක්‍රව දායකවී ඇත්තෙමු. ඉන් බැහැර වීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැත. මෙම යුද්ධයෙන් අප හිමි කරගත් ප්‍රමාණයට වඩා අහිමි කරගත් දේ අතිවිශාලය. විනාශ වූ දේපළ සම්බන්ධයෙන්, ජීවිත සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවන් ඉදිරිපත් කළ ද යුද්ධ කාලයේදී මිය ගිය සෙනෙහස, කරුණාව, ආදරය, ප්‍රේමය යන කරුණු සම්බන්ධයෙන් තවමත් වටිනාකම තක්සේරු කර නොමැත. එනම් ඒවාට තක්සේරු වටිනාකමක් හෝ මිලක් නියම කිරීමට අප අපොහොසත් වීම ඊට හේතුවයි. යුද්ධය පැවැති කාලයේදී අධික ලෙස පීඩා වින්‍ඳේ කුමන පාර්ශවය ද යනුවෙන් යමෙක් ප්‍රශ්නයක් නැගුවහොත් ඊට නිවැරදි පිළිතුර වන්නේ උතුර යන්නයි. යුද්ධය උතුරු පළාත කේන්ද්‍ර කරගමින් පැවැතීම ඊට ප්‍රධානතම හේතුවයි. කෙසේ වෙතත් මේ වනවිට යුද්ධයෙහි අඳුරු සෙවනැලි මැකී ගොස් තිබුණ ද ඉඳහිට ඒවා මතුවන ආකාරයක් ද දැකිය හැකිය. මෙම කුරිරු යුද්ධයෙහි සාක්ෂිකරුවකු වන කරුණාගරන් විසින් රචනා කරන ලද "ඉප්පඩි ඔරු කාලම්" කෘතියෙහි සිංහල පරිවර්තනය " මතක වන්නිය" ලෙස මා සහෝදරියක වන අනුෂා සිවලිංගම් විසින් සිදු කරන ලදි. එම කෘතිය අපට විශේෂය. උතුරේ ජනයාගේ සිතුම් පැතුම් කෙදිනකවත් අපට සමීප කිරීමට එවක මාධ්‍ය කටයුතු කළේ නැත. එම නිසාම අප දෙපිරිස අතර තිබුණ සියලුම බැඳීම් විනාශ විය. මෙම කෘතිය හරහා ඔවුන් යුද්ධ සමයේ විඳි පීඩාවන් සහ ඔවුන්ගේ ජීවිකාව ගෙන යාමට දැරූ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගත හැකි වේ යැයි සිතමි.
එමෙන්ම උතුරේ වැසියන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතිය සහ දේශපාලනමය කරුණු සම්බන්ධයෙන් ද මෙම කෘතිය හරහා සාකච්ඡා කර තිබේ. යුද්ධය ආරම්භ වීමට පෙර ඔවුන් ජීවිතය ගත කළේ කෙසේ ද, යුද්ධය පවතින කාලය තුළදී ඔවුන් හැසිරුණු ආකාරය සහ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් සිය ජීවිතය ගැට ගසා ගැනීමට දරණ වෙහෙස මහන්සිය මෙම කෘතිය තුළින් පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබුණි. මෙම කෘතියෙහි ඇති සුවිශේෂි කරුණ වන්නේ යුද්ධය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකට චෝදනා එල්ල නොකිරීමයි. ශ්‍රී ලංකා රජයට, කොටි සංවිධානයට හෝ ඉන්දිය සාම සාධක හමුදාවට කතුවරයා විසින් සෘජුව හෝ වක්‍රව චෝදනා නොකිරීම මෙහි ඇති විශේෂත්වයක් ලෙස මා දකිමි. යුද්ධය සම්බන්ධයෙන් රචනා කෙරෙන බොහෝ කෘති අපක්ෂපාති යැයි අපට කීමට නොහැක. ඒ තරම් ඒවා දේශපාලනිකරණය වී තිබේ. මතක වන්නිය ඉන් බොහෝ සේ වෙනස්ය. මෙතුළින් කතුවරයා තමන් මුහුණ දුන් අත්දැකීම පමණක් විග්‍රහ කිරීමට කටයුතු කර ඇත.
මට අනුව නම් උතුරු පළාත යනු ශ්‍රී ලංකාවට අයත් පළාත් නවය අතරින් එකක් නොවේ. එය පුස්තකාලයක් බඳු එකකි. එම පළාතේ ජීවත් වන අයගෙන් සහ ජීවත් වූ අයගෙන් අපට උගත හැකි කරුණු අසීමිතය. එම පළාත තුළ දේශපාලනය, සංස්කෘතිය, පීඩනය, සහ වැටීම් නැගිටීම් යන සියල්ලම උගත හැකි බවට මා විශ්වාස කරමි. මෙම ග්‍රන්ථයෙහි පිදුමේ අයිතිකරුවෙකු නොවීම සම්බන්ධයෙන් දුකක් මෙන්ම සතුටක් ද මා සතුව ඇත. යුද්ධය අවසන්ව වසර 11 ක් ගතව තිබුණ ද යුද්ධයෙන් කඩාවැටුණු යාපනයේ සුන්බුන් නැරඹීමට මා අද දක්වා එහි නොගොස් ඇති බැවින් මා සතුටු වෙමි. දුකට කරුණ නම් පුස්තකාලයකට නොගොස් අපට අවශ්‍ය දැනුම ගත නොහැකි වීමය. අවසන් වශයෙන් කතුවරියගෙන් ඇසීමට එක් පැනයක් පමණක් ඉතුරුව ඇත...
"කිලිනොච්චියේ තත්ත්වය කොහොමද..? මොනවද දැන් කිලිනොච්චියේ සිද්ධ වෙන්නේ...?
✍️ ජෙගන් ගනේෂන්
ජෙගා මරු
ReplyDelete