ග්‍රාමීය සුන්දරත්වයට එකතු වූ දුෂ්කරත්වය සහ නව යොවුන් විය - 16 Vayathinile 1977


ග්‍රාමීය ජන ජීවිතය යැයි පැවසු විට අපගේ මතකයට නැගෙනුයේ සුන්දර කඳු යායකින් යා වූ දැකුම්කළු පරිසරයකින් හෙබි වටපිටාවකි. නාගරික ජීවිතයක් ගත කරන බොහෝ අයට එය දිව්‍ය ලෝකයක් බඳු ඒවාය. නමුත් එහි ඇත්තේ ව්‍යාජ මවාපෑමක් මිස සත්‍යයක් නොවේ. ගමෙහි ගත කරන ජීවිත අතිදුෂ්කරය. එම ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනයා තරම් අහිංසකයින් මෙලොව කිසිම තැනකින් සොයාගත නොහැකිය. එම ප්‍රදේශවල ජීවත් වන සියලු දෙනාම සුදු චරිත පමණය. කළු චරිත කිසිවෙකුත් නැති තරම්ය. යම් හේතුවකින් කළු චරිතයක් ගමෙහි සිටින්නේ නම් ඔහු නගරයෙන් පැමිණි ධනවත් පුද්ගලයකු විය යුතුය. මෙලෙස ජනයා ඉදිරියේ මවා තිබු වීදුරු මාලිගාව විනාශ කර දැමීමේ වගකීම තම කරට ගත් භාරදිරාජා ඊට කමල්හසන්, රජිනිකාන්ත්, ශ්‍රී දේවි යන අයව තම හමුදාවේ සමාජිකයින් ලෙස බඳවා ගත්තේය. එම හමුදාවට ප්‍රථමයෙන් මයිල් (මොණරා) ලෙස නම තැබුව ද අනතුරුව පදිනාරු වයදිනිලේ යනුවෙන් නම තබන ලදි.

වයස අවුරුදු 16 යනු නව යොවුන් විය ආරම්භ වන වයස් සීමාව යැයි පැවසීමට හැකිය. එම වයසේදී අප තුළ ඇති වන වෙනස් වීම් සහ අලුත් දේවල් සොයා යාමේ අවශ්‍යතාවයක් මෙන්ම අපගේ ශරීරයේ සිදු වන වෙනස්වීම් කෙරෙහි කුතුහලයක් ඇති වන කාලයකි. ගුරුවරියක වීම තම ඒකායන අරමුණ කරගනිමින් සිටි මයිල් පසු වූයේ ද එම වයස් සීමාවේය. අවුරුදු 16 වන තරුණියන් තම අනාගත සැමියා පිළිබඳව ද සිහින දැකීමට පටන් ගනියි. එය කිසිවෙකුටත් නතර කිරීමට නොහැකි කරුණකි. ඇයගේ සිතෙහි තිබුණේ ද උගත් කඩවසම් නාගරික පන්නයට අඳින පළඳින කෙනෙකු හා විවාහ වීමටය. තමන්ගේ සිතෙහි මැවි තිබු රූපයට සහ උගත්කම හිමිකම් කියූ කඩවසම් පශු වෛද්‍යවරයෙකු ඇය වාසය කළ ගම්මානයට පැමිණෙන්නේ එම අවස්ථාවේදීය. ඔහු තමාට ගැළපෙන සහකරුවෙකු යැයි සිතු ඇය වෛද්‍යවරයා දුටු විගසම ආදරය කිරීමට පටන් ගනුයේ සුදුවට තිබෙන සියල්ල කිරි යැයි විශ්වාස කරන අහිංසක ගැමි තරුණියක ලෙසය. නමුත් සත්‍යජිත් නම් වූ වෛද්‍යවරයාගේ සැබෑ අරමුණ ආදරයම නොවන බව ඇය තේරුම් ගන්නේ පසුවය. වෛද්‍යවරයා ආදරය කළේ ඇය නොවේ ඇයගේ වයස සහ ශරීරයටය. සත්‍යජිත්ගේ චරිතය බොහෝ කාලයක් සිනමා රසිකයින් මනසේ රැඳි සිටි චරිතයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්ව තිබුණි. මෙම චිත්‍රපටියේදී ඔහු උච්චරණය කළ දෙබස වසර ගණනාවක් ගත වූව ද දමිළ සිනමා රසිකයින්ගේ දෙසවන් තුළ රැව් දෙමින් තිබෙනවාට කිසිදු සැකයක් නොමැත. එමෙන්ම කාන්තාවන් තමන්ට යටත්ව සිටිය යුතුයි යැයි සිතන පුරුෂ සමාජය නියෝජනය කළ පුද්ගලයෙකු ලෙස ද අපට සත්‍යජිත්ව හඳුන්වා දිය හැකිය. මයිල්ගේ සිහිනය විනාශ කිරීම තරම් ඔහුගේ එම සිතුවිල්ල දරුණු විය. තමන්ට සැබෑ ලෙසින්ම ආදරය කරන්නේ නම් ගුරු පුහුණුවීමට පවා නොයන ලෙස ඔහු නියෝග කරනු ලබන්නේ පුරුෂයින් අභිබවා කාන්තාවන් පැමිණීම කෙරෙහි ඔහු තුළ තිබු අකමැත්ත නිසාමය.

මෙම චිත්‍රපටිය පුරාවට මයිල් සිය ජීවිතයේදී හමුවන වැදගත් චරිත කිහිපයක් තුළින් පමණක් ගොඩනැගී තිබීමත් විශේෂත්වයකි. මඩ සහ දූවිලි තැවරුණු හෝ ඉරුණු කමිසයක් සහ වේට්ටියක් ඇඳගනිමින්. බුලත් හපමින් කොණ්ඩය තෙල් ගා මැදින් බෙදා කොණ්ඩය පීරා ගෙන සිටින තමන්ටම ගම තුළ ආවේනික රූපයක් මවාගෙන සිටි පුද්ගලයෙකි චප්පානි. ඔහුගේ පාදයක් කොරය. මයිල්ගේ මවට උපකාර කරමින් ඇය විසින් දෙන යමක් කමින් ජීවිතය ගෙවු ඔහු තුළ මයිල් කෙරෙහි ඒක පාර්ශවිය ආදරයක් ඇතිව තිබුණි. එය ඔහුගේම වරදක් යැයි කීමට නොහැක. සිය නිවසේ වැඩ කටයුතු කරගැනීම උදෙසා මයිල්ගේ මව බෑණා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමත් තම දුවව විවාහ කර දෙන බවට පැවසීම හේතුවෙන්ම ඔහු තුළ මෙවැනි අදහසක් ඇති වීම සාමාන්‍ය දෙයකි. ගැමියන් හට යම් දෙයක් පැවසුවහොත් ඒ සම්බන්ධයෙන් කිසිදු සෙවීමකින් තොරව විශ්වාස කරන තරමට අහිංසකයින් විය. චප්පානිගේ චරිතය හරහා නියෝජනය කරනු ලැබුවේ එවැනි සමාජයේ පැතිකඩකි. අනෙක් කරුණ නම් චප්පානි එතරම් බුද්ධිමත් පුද්ගලයෙකු නොවීමයි. මෙවැනි සිදු වීමේ ග්‍රාමීය සමාජය තුළ සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණයකි. තම දියණිය සුරූපිනියක් නම් ඇයව විවාහ කරදෙන බව පවසමින් කාන්තාවන් තරුණියන් ලවා අවශ්‍ය වැඩ කටයුතු කරගැනීම අදටත් දැකිය හැකිව තිබේ. කෑමට යමක් ලබා දුන්නහොත් ඔවුන්ට අවශ්‍ය සෑම රාජකාරියක්ම ඔහු විසින්ම ඉටු කරන ලදි. එවැනි චරිත වර්තමාන සමාජයේ වූව ද අපට හමුවෙයි. ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. චප්පානිගේ චරිතය නිරූපණය කරනු ලැබුවේ කමල්හසන් විසින්ය. එම කාලසීමාව වනවිට කමල් සිය සිනමා ගමනේ බොහෝ දුරකට පැමිණ සිටියේය. කෙසේ වෙතත් කිසිදු අවස්ථාවකදී අපිට කමල්හසන් කෙනෙකුව එම චිත්‍රපටිය තුළ දැකගත නොහැකි විය. අප ඉදිරියේ පැය දෙකකට අධික කාලයක් පෙනි සිටියේ. එක් පාදයක් කොර ගසමින් ඇවිදින චප්පානි කෙනෙක් පමණය. කලාකරුවෙකු තම චරිතය වෙනුවෙන් මෙවැනි කැප කිරීමක් කළ හැකි ද යන්න සම්බන්ධයෙන් එකල සිටි බොහෝ විචාරකයින් විශ්මිත වන අයුරින් ඔහුගේ රංගනය ඉදිරිපත් කළේය.

ගැමි සමාජය තුළ කාටවත් මෙල්ල නොවන තම හිතුමතේට ක්‍රියා කරන චරිත සිටිම ද සාමාන්‍ය දෙයකි. පරට්ටයන් ද මෙහි සිටි එවැනිම පුද්ගලයෙකුය. ඔහු තුළත් මයිල් කෙරෙහි කාමුක ආශාවක් ඇතිව තිබුණි. කෙසේ හෝ ඇයව ලබාගැනීම පරට්ටයන්ගේ ඒකායන අරමුණ විය. මයිල් සහ වෛද්‍යවරයා අතර තිබු පෙම් පලහිලව්ව සම්බන්ධයෙන් ගම පුරා කටකතා කීමේ වගකීම ද ඔහු විසින් සිදු කරන ලදි. මෙම සිදුවීමෙන් ඇති වූ සිත්තැවුල නිසාම කුරුවම්මා හෙවත් මයිල්ගේ මව ජීවන ගමනට සමු දුන්නාය. අනතුරුව මයිල්ගේ පිහිටට සිටියේ චප්පානි පමණය. චප්පානි පෙර සිටම පරට්ටයන්ගේ දැඩි හිංසාවන්ට මුහුණු දුන් පුද්ගලයෙකි. කුරුවම්මාගේ මරණයෙන් පසුව චප්පානි සිය ජීවිතයම මයිල් වෙනුවෙන් කැප කළේය. ඇයව සතුටින් තබා ගත යුතුයි යන්න ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය. කාලය ගෙවි යනවාත් සමඟම චප්පානි කෙරෙහි මයිල්ගේ සිතෙහි ද ආදරයක් ඇති විය. මේ අතරතුර චප්පානිගේ ජීවිත රටාවෙහි වෙනස්කම් කිහිපයක්ම සිදු විය. මෙම වෙනස් වීම හේතුවෙන්ම පරට්ටයන් අතර විරසකයක් පවා හටගෙන තිබුණි. ගමේ සිටින සෑම කෙනෙකුගෙන්ම නොයෙකුත් හිංසාවන්ට ලක් වූ චප්පානි මයිල් ලබා දුන් ධෛර්යය හේතුවෙන්ම පරට්ටයන් සහ සත්‍යජිත් යන අයට පහර දුන්නේය. තරුණියක්ගේ වචනයට ඇති බලය මෙහිදී අධ්‍යක්ෂකවරයා විසින් සාකච්ඡා කර තිබුණි. පරට්ටයන් වැනි චරිත අදටත් සමාජයේ අපට දැකගත හැකිය. හිතුවක්කාර, තමන්ට අවැසි දෑ කෙසේ හෝ ලබාගැනීමට ගන්න උත්සහයන් දැකීමේදී අධ්‍යක්ෂකවරයා විසින් මිනිස් සිත හොඳින් හඳුනාගෙන මෙහි පිටපත ලියා ඇති බවට හැඟේ. මෙම චිත්‍රපටිය වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම රංගන ශිල්පින් දැඩි විශ්වාසයකින් යුතුව සහ තමන්ගේ තත්ත්වය පවා අහිමි කරගෙන රංගනයෙන් එක්ව තිබේ යැයි පැවසිය හැකිය. මයිල් විසින් පරට්ටයන්ගේ මුහුණට කෙළ ගැසීමේ දර්ශනයක් මෙම චිත්‍රපටියට ඇතුළත්ය. නොයෙකුත් ආකාරයන් එම දර්ශන රූගත කිරීමට ගත් උත්සහයන් සියල්ල ව්‍යර්ථ විය. අනතුරුව පරට්ටයන්ගේ චරිතය නිරූපණය කරනු ලැබු රජිනිකාන්ත් ශ්‍රී දේවි හට කියා තිබුණේ සැබෑ ලෙසටම කෙළ ගසන ලෙසය. අනතුරුව එම දර්ශනය එලෙසම රූගත කළ බව ද පැවසේ. 

මෙවැනි චිත්‍රපටියක සර්ථකත්වය රඳා පවතින්නේ සංගීතය මතය. කිසිම දිනක තමන් භාරගත් වගකීම පැහැර හරින්නෙක් නොවන ඉලයරාජා විසින් චිත්‍රපටියේ සාර්ථකත්වය කෙරෙහි සිය උපරිම දායකත්වය ලබාදී තිබුණේය. ඔහුගේ සංගීතයෙන් හැඩ වූ ගීත අදටත් රසවිඳිය හැකි මට්ටමක තිබේ. දමිළ සිනමාවේ බිහි වූ අනෙකුත් චිත්‍රපට මෙන් මෙයත් එක් චිත්‍රපටියක් ලෙස පැවසීමට නොහැක. සිනමාව හදාරන සිසුන් හට මෙය විශ්වවිද්‍යාලයක් බඳු නිර්මාණයකි. දමිළ සිනමාවේ ප්‍රථම එළිමහන් චිත්‍රපටිය ලෙස මෙය සැලකිය හැකිය. විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා මෙහිදී භාවිත කර තිබු තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව විශේෂයෙන්ම කතා කළ යුතුය. විශේෂයෙන් එකල “ස්ලෝමෝෂන්” දර්ශන රූගත කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ වෙනුවෙන් ශ්‍රී දේවි සහ කමල් “ස්ලෝමෝෂන්” රංගනයක දායක විය. එහි යම් අතාත්වික ස්වරූපයක් අඩංගුව තිබුණ ද එය රසවින්ඳනයට කිසිදු බාධාවක් නැතැයි ලියුම්කරුගේ අදහසයි. චප්පානි සහ මයිල් කතා කරමින් සිටින අවස්ථාවක කැමරාව ඔවුන්ට සහ ගඟේ පාවෙමින් යමින් තිබු කළයට කට් කරමින් ගත් දර්ශනය එකල කාගෙත් අවධානයට යොමු විය. අනෙකුත් විශේෂ කරුණ නම් අදාළ චිත්‍රපටියේදී කමල්හසන්ගේ වැටුප රුපියල් 2700ක් වනවිට රජිනිකාන්ත්ගේ වැටුප වූයේ රුපියල් 2500කි. එය රුපියල් 5000 සිට අඩු වූ බවත් පැවසිය යුතුමය. රජිනිකාන්ත් වර්ණ චිත්‍රපටියකට දායකත්වය ලබා දුන් ප්‍රථම අවස්ථාව ද මෙය විය. 

චිත්‍රපටියෙහි රූගත කිරීම් ආරම්භයෙහි සිට අවසානය දක්වා මෙම කණ්ඩායම මුහුණ දුන් අකරතැබ්බයන් විශාල ප්‍රමාණයකි. රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර බොහෝ පිරිස් විවිධ අනතුරුවලට මුහුණ දෙන ලදි. චිත්‍රපටියෙහි වැඩ කටයුතු සියල්ල අවසන් වීමෙන් අනතුරුව එය තිරගත කිරීම සඳහා කිසිදු සමාගමක් ඉදිරිපත් නොවිය. අවසානයේදී එහි නිෂ්පාදකවරයා විසින්ම තිරගත කිරීමේ කාර්යය ද භාරගන්නා ලදි. මෙවැනි බාධාක හමුවේ තිරගත කෙරුණු මෙම චිත්‍රපටිය ජයග්‍රහී ලෙස දින 175 ක් තිරගත විය. කෙසේ වෙතත් මෙය සාර්ථක වීම පිණිස කිසිදු උත්සවයක් එම කණ්ඩායම විසින් සංවිධානය නොකිරීමත් විශේෂත්වයකි. එහෙත් 2013 වසරේදී පදිනාරු වයදිනිලේ චිත්‍රපටිය ඩිජිටල් කර නැවත තිරගත කළ අවස්ථාවේදී උත්සවයක් සංවිධානය කර තිබුණි. එහිදී ඊට දායක වූ රංගන ශිල්පීන් අධ්‍යක්ෂකවරයා සහ සහය අධ්‍යක්ෂකවරුන් සිය මතකයන් යළිත් අලුත් කරගත් ආකාර ඉතා අපූරුය. 

මෙහි ඇති විශේෂ කරුණ නම් සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ භාක්‍යරාජ්ගේ නම චිත්‍රපටි නාමාවලියට ඇතුළත්ව නොතිබීමත් මෙහි විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එමෙන්ම මෙම චිත්‍රපටිය රජිනිකාන්ත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. ශ්‍රී දේවි හින්දි සිනමාව වෙත පා තැබුවේ ද මෙම චිත්‍රපටියෙහි හින්දි ප්‍රතිනිර්මාණය හරහා වීමත් විශේෂිත කරුණකි. දමිළ භාෂාවෙන් රූගත කරනු ලැබු මෙම චිත්‍රපටිය ලැබු ජනතා ප්‍රසාදය හේතුවෙන්ම, 1978 වසරේදී තෙළිඟු භාෂවෙන් ද, 1979 දී හින්දි භාෂාවෙන් ද, 1984 මලායි භාෂාවෙන් ද ප්‍රතිනිර්මාණය කරන ලදි 2009 වසරේදී එහි කණ්නඩ භාෂා ප්‍රතිනිර්මාණ අයිතිය ගනේෂ් නමැති රංගන ශිල්පියා විසින් ලබාගත් බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. 

එමෙන්ම 1977 වසරේ හොඳම ගායිකාවට හිමි ජාතික සම්මානය එස්. ජානකී හට ද, හොඳම නළුවාට හිමි දකුණු ඉන්දිය ෆිල්ම් ෆෙයාර් සම්මානය කමල්හසන් හටත්, හොඳ ඉදිරිපත් කිරීම සඳහා වන ජූරියේ සම්මානය ශ්‍රී දේවි හටත් හිමිවිය. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත සිනමා උළෙලෙහි හොඳම නළුවා, අධ්‍යක්ෂකවරයා, සංගීත අධ්‍යක්ෂකවරයා සහ ගායිකාවට හිමි සම්මාන දිනගැනීමට පදිනාරු වයදිනිලේ චිත්‍රපටිය සමත් විය. අදාළ චිත්‍රපටියේ පරට්ටයන් චරිතය නිරූපණය කළ රජිනිකාන්ත් හට අරිමා සංගමය විසින් විශේෂ සම්මානයක් ද ප්‍රදානය කරනු ලැබිය. 


✍️ ජෙගන් ගනේෂන්

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]