අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]



මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වූ පෘථිවිය ඇතුළු නොයෙකුත් ග්‍රහයන්, උපග්‍රහයන් තවමත් විනාශ නොවි පවතින්නේ, බැඳීම් නිසාය. සූර්යයා සහ ග්‍රහ ලෝක අතර බැඳීමක් නොමැති වූයේ නම් ඒවා එකිනෙක ගැටී විනාශ වනු ඇත. පරිණාමයට ලක්වෙමින් පැමිණි මානව වර්ගයා ද තවමත් මෙම භූතලයේ නොනැසි පවතින්නේ මෙම බැඳීම නමැති සංකල්ප හේතුවෙන්ය. එම බැඳීම් විවිධ නාමරූප යොදා ගනිමින් සාකච්ඡා කළ හැකිය. මව සහ දරුවන් අතර ඇති බැඳීම් දිගු කාලීන වූව ද, පිය-පුතු බැඳීම කාලානූරූපීය වෙනස් වීමට ලක් වෙයි. යම් පවුලක එය දැකිය හැකි පොදු ලක්ෂණයකි. ඊට නිසි හේතුවක් සොයා ගැනීම යනු ඉතා අපහසු කරුණකි.

කිසිදු බැඳීමකින් තොරව ජීවත් වන පියා සහ පුතා අතර සිදු වන සිද්ධීන් එකිනෙක ගළපා අප ඉදිරියේ තැබු චිත්‍රපටියක් ලෙස “ඒලේ” හඳුන්වා දිය හැකිය. මිනිසා අතීතකාමයට බොහෝසේ ප්‍රිය කරයි. එම නිසා ග්‍රාමිය ජීවිතය අතහැර නගරබද පරිසරවල ජීවත් වන පිරිස් තමන්ට විවේකයක් ලැබුණ විටක තමන් ගත කළ ග්‍රාමීය ජීවිතය ගැන සිතා බැලීමට කාලයක් වෙන් කරනු ලබන්නේ ද ඒ හේතුවෙන්ය. තම අතීතය මෙනෙහි කරන අවස්ථාවේදී ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස “ඒලේ” නම් කිරීමට හැකිය. ග්‍රාමීය ජීවිතය තුළ මිනිසා ලැබු අත්දැකීම් සමූහය පැය දෙකක් තුළට පටු කිරීමේ හැකියාවක් නොතිබුණ ද චිත්‍රපටිය තුළ ඇතැම් විශේෂ අවශ්‍යතා පමණක් දක්වා තිබුණි.

මුත්තුකුට්ටි සතුව තිබුණේ, දෙදරු පියෙකු සතුව තිබිය යුතු වගකීමක් සහ හැසිරීමක් නොවේ. ඔහු සිය සෙල්ලක්කාර ජීවිතය නොනවත්වාම ඉදිරියට රැගෙන ගියේ ය. ඔහුගේ හිතුවක්කාර ක්‍රියා නිසාම පාර්ති සිය පියාට දිනෙන් දින වෛර කරන්න පටන් ගත්තේය. තම පුතාව කුලී පදනමකට වෙනත් අයට ලබාදීම වැනි කරුණු ප්‍රේක්ෂකයා හමුවේ උලුප්පා දැක්වීම තුළින් පුත්‍රයා තුළ සිය පියා කෙරෙහි වූ වෛරය වර්ධනය වීමට හේතු වූ ආකාරය ඉස්මතු කර දැක්වීමට අධ්‍යක්ෂවරිය හලිතා ශමීම් සමත් වූවා ය. විශේෂයෙන් පුතාගේ සටහන් පොත උකසට තබා ලොතරැයිපත් මිලදී ගැනීම්, බස් රථයේ සෙරෙප්පුව උපයෝගි කරගනිමින් ආසනයක් වෙන් කිරීම වැනි දර්ශන අපගේ මුවට සිනහවක් මෙන්ම, සියුම් කේන්තියක් නිර්මාණ කරවීමට තරම් ප්‍රබල විය.

පියාගේ මරණය සඳහා නගරයේ සිට ගමට පැමිණෙන පාර්තිගේ හැසිරීම් තුළින් ඔහු සිය පියාට කොතරම් වෛර කරන්නේ ද යන්න ප්‍රේක්ෂකයාට මනා ලෙස අවබෝධ කරගත හැකි වන අයුරින් චිත්‍රපටියට දෙබස් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. බස් රථයේ තිබු අධික ශබ්දය හේතුවෙන් ඔහුට නිදා ගැනීමට අවස්ථාවක් හිමි නොවිය. පියාගේ මරණයට වඩා ඔහු නින්ද අහිමි වීම විශාල දුකක් ලෙස ඔහු හැඟෙයි. පාර්ති විසින් සිය පියාට කොපමණක් වෛර කරන්නේ ද යන්න හැඟවීමට එම දෙබසම ප්‍රමාණවත්ය.

මරණයක් සිදු වූ නිවසේ උදවිය හැර අනෙක් සියලු දෙනාටම එය සතුටුසාමීච්චියේ යෙදීමට උදා වූ කදීම අවස්ථාවකි. සම වයසේ අයෙකු මිය ගිය විට ඊළඟට තම වාරය යනුවෙන් සිත හදාගන්න බොහෝ අය සිටිති. එහෙත් තමන්ගේ කවුරුන් ද ප්‍රථමයෙන් පරලොව යන්නේ යනුවෙන් මළ ගෙදරකදී විශාල ලෙස සාකච්ඡාවට තුඩු දුන් අවස්ථා ද දැකිය හැකිය. මෙම චිත්‍රපටිය තුළ ද එවැනි අවස්ථා දැකගත හැකි විය. ග්‍රාමිය අවමංගල්‍ය කටයුතු සිදු කිරීමේදී කලාවට මුල් තැනක් ලබා දෙන ආකාරය දැකගත හැකිය. ග්‍රාමීය ප්‍රදේශයන් තුළ තවමත් මෙම ක්‍රමය භාවිතයේ පවතියි. මෙම චිත්‍රපටිය තුළ ද එවැනි අවස්ථා කිහිපයක් දැකගත හැකිව තිබුණි. එතුළින් රසිකයාගේ අතීතකාමය නැවතත් ඉස්මතු කරවීමට අධ්‍යක්ෂවරිය සමත්ව සිටියාය.

දුක - සැප යන්න අප සතුටින් භාරගත යුතුය. එය ගම්වාසීන්ට පමණක් නොව නගරවාසීන්ට ද පොදුය. විවාහ චාරිත්‍ර සිදු කිරීමටත්, අවමංගල්‍ය චාරිත්‍ර කිරීමටත් එකම මාර්ගයක ගමන් කරන පිරිසක් දැකගත හැකිය. මෙම දර්ශනය තුළ අපට ලෝක ධර්මතාවය අවබෝධ කරවීමට ගත් උත්හයක් ලෙස පැවසීමේ හැකියාවක් ඇත. තවද සාම්ප්‍රදායික සංකල්පවලට සියුම් පහරක් එල්ල කර තිබු ආකාරයක් දැකගත හැකි විය. හින්දු දහම තුළ ශාප වර්ග 13ක් වර්ග කර ඇත. ඒ අතර මෘත දේහ ශාපය ද ඇතුළත්ය. පුද්ගලයෙකු මිය යාමෙන් අනතුරුව ඔහුගේ ගුණ වැයීම අප දැක ඇත්තෙමු. ඊට හේතුව දේහයේ ශාපයට ලක් නොවි යුතු නිසාය. හින්දු දහමට අනුව මිය ගිය කෙනෙකුගේ නුගුණ පැවසීමෙන් ශාපයට ලක් වනු ඇතැයි පැවසේ. පුද්ගලයෙකුට හිමි වන ශාපයන් අතරින් වඩාත් දරුණුතම ශාපය මෙය ලෙස ද සඳහන්ය. මෙම ශාපයන්ට ලක් වූවන්ගේ ආයු කාලය අඩු වන බව ද පැවසේ. මුත්තුකුට්ටිගේ පුතාට මත්පැන් අලෙවි නොකරන බවට පවසන තැබෑරුම්හලේ අයිතිකරු මුත්තුකුට්ටිට නොයෙකු ආකාරයේ බැන වදියි. ඔහු මිය ගිය පුවත පැවසීමෙන් පසුව තැබෑරුම්හලේ හිමිකරු පාර්තිගේ පියාගේ ගුණ වැයීමක් සිදු කරයි. මිනිසෙකු මිය ගිය පසුව ඔහුගේ ගුණ කීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද, යන්න අප තුළ ප්‍රශ්නයක් මතු කරයි.

ගමක් ආශ්‍රීතව නිර්මාණය වන සිනමා පටයක දැකිය හැකි ආදර කතා බොහෝ සේ සමානය. ඒ තුළ පංති භේදයක් පෙන්වීමට සිනමාකරුවන් නිතරම උත්සහ ගනියි. මෙහි අධ්‍යක්ෂවරියට ඉන් මිඳීමට නොහැකි වූවා විය හැකිය. පාර්තිගේ පෙම්වතිය ගමේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කළ තරුණියකි. පාර්ති යනු දෛනික ජීවිකාව රැගෙන යාමට අයිස් විකුණන සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුතෙකි. මොවුන් අතර පංති භේදයක් මෙන්ම ආකල්පමය භේදයක් ද තිබුණි. පාර්තිගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් ද ඇය සතුව නොවිය. මිනිසුන්ගේ ක්‍රියාවෙන් සහ වචනයෙන් ඔවුන්ගේ හැසිරීමට අනුමාන කළ නොහැකිය. ඒ සඳහා වන අදහස් හුවමාරු කරගැනීමක් අවශ්‍යය. ආදරය තුළදී අනෙකාට ඇහුම්කන් දීම සිදු කළ යුතුය. මෙම ආදරයේදී එවැනි දෙයක් දැකගත නොහැකි විය. වර්තමානයේදී සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් ද විරසක වන පෙම්වතුන් සිටිති. මෙම චිත්‍රපටියේ ද එවැනි කරුණක් හුවා දැක්වීමට අධ්‍යක්ෂවරිය උත්සහ ගෙන ඇත. කෙසේ වෙතත්, චිත්‍රපටියේ රිද්මය මෙම ප්‍රේම කතාව හේතුවෙන් අඩු වූවා යැයි කීමට හැකිය. ඒ තුළ යම් ඒකකාරිභාවයක් දැකගත හැකිව තිබුණි. ප්‍රේම කතාවට මුල්තැන නොදි මුත්තුකුට්ටි සහ පාර්ති අතර සිදු වන තවත් සිද්ධීන් කිහිපයක් ඇතුළත් කර තිබුණේ නම් යහපත් යැයි සිතුණි.

චිත්‍රපටියේ පළමු අර්ධය ඉතා ඉහළ මට්ටමක තිබුණ ද දෙවන අර්ධයේ යම් පහත බැසීමක් දැකගත හැකි විය. එය දීර්ඝ කාලයක් ඇදුණි. සමහර ජවනිකා ඉහළ සිනමාත්මකභාවයක් දැකගත හැකි විය. සමහර දර්ශන සහ සිද්ධීන් එකිනෙකට නොගැළපෙන ආකාරයක් ද තිබුණි. එය පටිගත කිරීමේදී සිදු අතපසුවීමක් ද නැතිනම් පිටපත රචනා කර තිබුණේ ද එලෙසින් ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතු කරයි.

මෙම චිත්‍රපටියේ ප්‍රබලතම සාධකය ලෙස පසුබිම් සංගීතය සහ කැමරාකරණය හඳුන්වා දිය හැකිය. ඔවුන් තම වගකීම නිසි අයුරින් ඉටු කර තිබුණි. එමෙන්ම චිත්‍රපටියට රංගනයෙන් දායක වූ සමුත්තීරකනි, මණිගන්ඩන්ගේ සුසංයෝගය ඉතා ඉහළ මට්ටමක තිබුණි. මණිගන්ඩන් සිය වෘත්තීය ජීවිතය තුළ බොහෝ දෑ අධ්‍යයන කරමින් ඉදිරියට යන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම මෙම චිත්‍රපටියේ නාච්චියාර්ගේ චරිතයට පණ පොවනු ලැබුවේ ශ්‍රී ලාංකීක නිළියක වන මධුමති පද්මනාදන්ය. විශේෂයෙන් යම් දර්ශනවලදී මණිගන්ඩන්ගේ චරිතයට වඩා මධුමති ඉස්මතු වූ ආකාරයක් ද දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් මණිගන්ඩන් ද සම්මුඛ සාකච්ඡාවලදී කියා තිබුණේය.

✍️ ජෙගන් ගනේෂන්

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022