දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ජීවිතය කැප කළ 18 හැවිරිදි රාජස්වර්ණම් සෙන්දූරන්

 

තොරතුරු දැනගැනීම මිනිසාගේ අයිතිවාසිකමකි. අනාගතයේදී එය  මූලික අවශ්‍යතා අතරට එක් කරනු ලැබුව ද ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ පවා යම් යම් අවස්ථාවල ෆැසිස්ට් ලක්ෂණ මතු වන අවස්ථා දැකිය හැකිය. මා අධ්‍යයනය කර ඇති ආකාරයට අනුව මෙරට ප්‍රථම වරට ආණ්ඩුවක් විසින් මාධ්‍ය වාරණයක් පනවනු ලැබුවේ 1958 වර්ෂයේදීය. ඒ සිංහල දෙමළ කෝලාහලය පැවති කාල සීමාවේදීය. එම වසරේදී හදිසි නීතිය ප්‍රකාශ කරමින් මාධ්‍ය වාරණයට රජය කටයුතු කර තිබුණි. මේ වනවිට ආණ්ඩුව විසින් මාධ්‍ය වාරණයට සෘජුව දායක නොවුන ද ආණ්ඩුවට සහය දෙනු ලබන කණ්ඩායම් විසින් තම න්‍යාය පත්‍රවලට අනුව පුවත් වාරණයක යෙදීම දැකගත හැකිය. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වූ අවස්ථාවකදී පවා තොරතුරු දැනගැනීමට වාරණ පැනවූ අවස්ථා අසීමිතය.

2015 වසරේදී බලයට පැමිණි යහපාලන රජයෙන් බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තම ජීවිතය කැප කළ රාජස්වර්ණම් සෙන්දූරන්ගේ පස්වන වර්ෂ පූර්ණය ඊයේ (26) දිනයට යෙදි තිබුණි. මේ සම්බන්ධයෙන් මා තැබු කෙටි සටහනකට ලැබුණ ප්‍රතිචාර හේතුවෙන් මෙම සටහන ලිවීමට සිතුවෙමි. 2015 නොවැම්බර් මස 26 වන දා උදෑසන 7.45ට පමණ සිසුවකු කොණ්ඩවිල් දුම්රිය ස්ථානයේදී ධාවනය වෙමින් තිබුණු දුම්රියකට පැන සිය දිවි නසාගත්තේය. ඔහු කොකුවිල් හින්දු විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙකි. මෙවැනි වයස් සීමාවල පසුවන තරුණයින් සියදිවිනසා ගනු ලබන්නේ ප්‍රේම සබඳතා හේතුවෙන්ය. නමුත් රාජේස්වරම් සෙන්දූරන් නමැති ශිෂ්‍යයා සිය ජීවිතය පූජා කරනු ලැබුවේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ය. ඔහු දුම්රියට පැනීමට පෙර ලිපියක් ද ලියා තැබුවේය. ඒ, දෙමාපියන්ටවත්, සිය මිතුරන්ටවත් නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. එම ලිපිය මෙසේය...

“අතිගරු ජනාධිපතිතුමනි, 

යහපාලන ආණ්ඩුව සියලුම දේශපාලන සිරකරුවන් පුනරුත්තාපනය කර  වහාම නිදහස් කළ යුතු බවට ඉල්ලා සිටිමි. 
මින් මතුවට කිසිඳු දෙමළ දේශපාලන සිරකරුවෙකුත් බන්ධනාගාරයේ නොසිටිය යුතුය. ඔවුන්ව වහාම (immediately) නිදහස් කළ යුතු යැයි මට හැ‍ගේ. නමුත් ඔබ ඇතුළු යහපාලන රජයට මෙය තවත් තේරුම් ගත නොහැකිවීම ගැන මා කණගාටු වෙමි. The government must deliver all tamil political prisoners immediately.
කවදත් දමිළ ජනයාට සෙනෙහස දක්වන, 
විශ්වාසී සෙන්දූරන්..."

ඊයේ (26)  දිනයේදී සෙන්දූරන් සියදිවි හානිකරගනු ලැබු දුම්රිය ස්ථානයේදී ආරක්ෂක අංශවල නිලධාරීන් රාජකාරියේ යොදවා තිබු බව ද එහි සිටින මාධ්‍යවේදීන් ප්‍රකාශ කළහ.

එමෙන්ම විවිධ හේතූන් මත මේ දක්වා අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන්ගේ සංඛ්‍යාව 100කට ආසන්නය. ඉන් වැඩි පිරිසක් දෙමළ ජාතිකයින් වීමත් විශේෂත්වයකි. මොවුන්ගේ බොහෝ පිරිසකට චෝදනා ගොනු කර නොමැති බව ද සඳහන් වේ. සෙන්දූරන් සිය ජීවිතය කැප කරනු ලැබුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් වන විරෝධතා රැසක් උතුරේ සංවිධානය කරමින් තිබු අවස්ථාවකදීය. එමෙන්ම මෙලෙස බන්ධනාගාර ගතව සිටි දෙමළ සිරකරුවන් ඝාතනය කළ අවස්ථා ද ඇත.  අද වනතෙක් ඒවාට යුක්තිය ඉටුවී නොමැති බව ද ස‍ඳහන් කළ යුතුමය. අදටත් උතුරේ අතුරුදන් වූවන් සොයා දෙන ලෙස හෝ ඔවුන් සම්බන්ධයෙන් යුක්තියක් ඉටු කරන ලෙස ඉල්ලමින් නොයෙකුත් ආකාරයේ විරෝධතා සිදු වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිස් දැනුවත් නැත. එසේ නොමැති නම් දැනුවත්ව නිහඬව සිටිනවා විය හැකිය.  දශක කිහිපයකට පෙර දකුණේ මව්වරුන් සහ පියවරුන් මෙම අවස්ථාවට උරුමකම් කීවෝය. එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් අය පවා උතුරේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන කාරණාවේදී නිහඬව සිටිම පුදුමයකි.

✍️ ජෙගන් ගනේෂන්





Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]