අමෙරිකානුවන්ට තේ පානය හුරු කිරීම - Miss India 2020
සම්යුක්තා යනු මධ්‍යම පංතිය නියෝජනය කර තරුණියකි. ඇයට වැඩිමල් සහෝදරියක සහ සහෝදරයකු විය. මධ්‍යම පංතිය නියෝජනය කරන දරුවන්ගේ දෙමාපියන් කුඩා කාලයේදීම පවසන්නේ කුමක් හෝ අරමුණකින් එසේ නොමැති නම් අනාගත බලාපොරොත්තුවකින් යුතුව සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙසය. එම බලාපොරොත්තුව ඉටු කරගැනීම තුළින් නිවෙසහි ඇති අගහිඟකම් කෙලෙස හෝ අවම කරගැනීම ඔවුන්ගේ අරමුණය. නමුත් සම්යුක්තා අනෙක් දරුවන්ට වඩා වෙනස්ය ඇයගේ අරමුණ ව්‍යාපාරයක් කිරීමය මධ්‍ය පංතිය නියෝජනය කරන පිරිස් හට ව්‍යාපාරයක් කිරීම යනු පහසු කටයුත්තක් නොවන බව සියල්ලන්ගේම මතයයි. නමුත් ඇය සිය අධ්‍යාපන කටයුතු සියල්ල සිදු කරනු ලැබුවේ තම සිහිනය සපුරා ගැනීමේ අරමුණින්ය. කාලයක් ගතවීමෙන් ඇයගේ පියාගේ මතකය අහිමි විය. ඇයගේ සහෝදරිය ද පෙම්වතා සමඟ දෙමාපියන්ට හොරෙන් විවාහ විය. එය පවුලේ අයට කබලෙන් ලිපට වැටුණා සේ දැනුනි. සෑම අඳුරු වළාවකම රිදි රේඛාවක් තිබෙන්නේ සේම සම්යුක්තාගේ සහෝදරයාට අමෙරිකාවේ රැකියාවක් ලැබුණි. ඒ වෙනුවෙන් ඇය සහෝදරයා සහ දෙමාපියන් සමඟ අමෙරිකාව බලා පිටත් වූවාය. එහිදී ඇයට හමු වූ නව මිත්‍ර කණ්ඩායම් හමුවීමත්, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සම්බන්ධයෙන් වූ කතාවක් ලෙස මෙම චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය.
එහිදී ඇය විසින් සිය ව්‍යාපාරය ලෙස තෝරාගනු ලැබුවේ තේ පානය අලෙවි කිරීමය. අමෙරිකාව තුළ කෝපි ජනප්‍රිය පානයක් ලෙස පවතින අවස්ථාවක ඉන්දිය තේ පානය එරට තුළ ජනප්‍රියත්වයට පත් කිරීම සුළුපටු කාර්යයක් නොවේ. ඇය මෙම කාර්යය ඉතා පහසුවෙන් සිදු කළේ කෙසේ ද යන්න අප අධ්යක්ෂකවරයාගෙන්ම විමසා බැලිය යුතුය. එරට තුළ කෝපි පානය සම්බන්ධයෙන් වන ව්‍යාපාරිකයා ඇයගේ ප්‍රධාන තරඟකරුවාය. සම්යුක්තා ව්‍යාපාරය ආරම්භ කර මාස කිහිපයකින් ඔහුට සටනක් දෙන තත්ත්වයට පත් වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටළුවකි. සාමාන්‍යයෙන් චිත්‍රපටියක විනාඩි 5ක ගීතයක් තුළ දුප්පතුන් ධනවතුන් වන විජ්ජාව මෙහිදී ද භාවිතයට ගෙන තිබුණි. බොහෝ චිත්‍රපටිවලට එම ක්‍රමවේදය සාර්ථකව භාවිත කර තිබුණ ද මිස් ඉන්දියා හිදී එම ක්‍රමය අසාර්ථක යැයි කිව යුතුය.
උපාධිදාරිනියක වන ඇය පවුලේ ප්‍රශ්න හේතුවෙන් ආයතනයක කෝල් සෙන්ටර් එකට කොටු කරමින් අලෙවි ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන රැකියාව නියැලීමට සිදු වීම අතිශ්‍යයින් විහිළු සහගතය. ඇයට පැවරෙන කාර්යය දිනකට දැන්වීම් කිහිපයක් සම්බන්ධයෙන් පාරිභෝකයින් සම්බන්ධ කරගැනීමය. පවුලේ ආර්ථිකම ප්‍රශ්න තිබෙන බවට මව සහ ඇයගේ සහෝදරයා පැවසුව ද බැලු බැල්මට එවැනි ආර්ථික අපහසුතා ප්‍රේක්ෂකයාට හමුනොවිය. එම ආර්ථික ගැටළු ප්‍රේක්ෂකයා වෙත අධ්‍යක්ෂකවරයා රැගෙන යාමට අපොහොසත්වී ඇති ආකාරයක් දැක ගත හැකිව තිබුණි. මධ්‍යම පංතිය නියෝජනය කරන තරුණියක තම සිහින කරා යාමේදී හමුවන බාධක රැසක් හමුවේ. නමුත් සම්යුක්තා හට තිබු බාධක දෙකකි. එකක් ආදරය අනෙකු කරුණ නම් පවුලෙන් එල්ලවන පීඩනය පමණය. පවුලෙහි එල්ල වූ පීඩනය එතරම් දරුණු මට්ටමක ද නොතිබුණි. ප්‍රේමය ද එලෙසය. ආරම්භ වූ අවස්ථාවත් අවසන් වූ අවස්ථාවත් ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට අධ්‍යක්ෂකවරා අපොහොසත් වී තිබේ. සාමාන්‍ය චිත්‍රපටියක තිරපිටපතෙහි ඇති වන දුර්වලතා හමුවේ දෙබස් හරහා වූවත් චිත්‍රපටිය සාර්ථක කරගැනීමේ හැකියාවක් තිබේ. නමුත් මෙම චිත්‍රපටියේදී එය ද සාර්ථක නොවිය. දෙබස් උච්චාරණයේදී කිසිදු නිරවුල්තාවයක් නොතිබුණි. දෙබස් කටපාඩම් කරමින් පවසන ආකාරයක් දැකගත හැකි විය. රේඛීය නොවන අයුරින් මෙම චිත්‍රපටිය නිර්මාණයවී තිබුණ ද, චිත්‍රපටියේ අවසානය සම්බන්ධයෙන් වන ඉඟිය එහි ආරම්භයේදීම ලබා දීම තුළින් ප්‍රේක්ෂකයා හට කුතුහලකයින් යුක්තව එය නැරඹීමේ අවස්ථාව මඟ ඇහිරි ගියා යැයි පැවසීම වඩාත් උචිතය.
චිත්‍රපටියෙහි ප්‍රධාන නිළිය වන කීර්ති සුරේෂ් සිය සිරුරේ බර අඩු කරගෙන තිබු ආකාරයක් දැකගත හැකි විය. අදාළ චිත්‍රපටියටත් එලෙස සිරුර අඩු කිරීමත් අතර ඇති සම්බන්ධය කුමක් දැයි නොදනිමි. කිර්ති සුරේෂ්ගේ රංගනය සම්බන්ධයෙන් කිසිදු පැහැදිමක් නැත. සිනමා ක්ෂේත්රයට පැමිණ මෙපමණ කාලයක් ගත වූව ද ඇය රංගනය යනු කුමක් දැයි තවමත් ඉගෙනගෙන නොමැති බවක් මෙම චිත්‍රපටිය හරහා හැඟුණි. ජාතික සම්මානයක් හිමි කරගත් පමණින් ඇයගේ රංගනය සර්ව සම්පූර්ණ යැයි කීම අනුවණ ක්‍රියාවක් ලෙස දකිමි. එක්වරක් සම්මානය දිනාගත් පමණින් ඇය දක්ෂතම නිළියක ලෙස ප්‍රවර්ධනය කිරීම කොතරම් සාර්ථක ද..?
නඩිගර් තිලගම් ලෙස හඳුන්වනු ලැබු සිවාජි ගනේෂන්ට පවා හොඳම රංගධරයාට හිමි ජාතික සම්මාන නොලැබුණි. ඉන් ගම්‍ය වන්නේ ඔහු අසාර්ථක රංගන ශිල්පියෙක් ලෙස නොවේ. සම්මානීය නිළියක ලෙස තමන්ගේ තත්ත්වය නැවත නැවතත් ඔප්පු කිරීම කිර්ති සුරේෂ් සතු කාර්යයකි. නමුත් මෙම චිත්‍රපටිය තුළ ඇයගෙන් එවැනි රංගනයක් මා නොදුටුවෙමි. සංගීත අධ්‍යක්ෂකවරයා ද සිය වගකීම පැහැර හැර තිබුණා යැයි කීමට හැක. OTT හරහා තිරගත වීම හේතුවෙන් ප්‍රේක්ෂකයාට මුදල් ඉතුරු වුණා යැයි කීමට හැක. ඉන්දිය සිනමාව තුළ නිර්මාණය වූ ඉන්ද්‍රා, මනදිල් උරුදිවේන්ඩෘම්, අරම්, මායා, කනා, කා/පේ රණසිංගම් ඇතුළු තවත් බොහෝ නිර්මාණ සමඟ මිස් ඉන්දියා සංසන්දනය කිරීම හුදෙක් විහිළුවක් යැයි මා විශ්වාස කරමි.
✍️ ජෙගන් ගනේෂන්
Comments
Post a Comment