විදුලි පන්දම් ආලෝකයෙන් සිදු වන අපූරු ලිංගික ගනුදෙනුව - Torchlight 2018




ලොව ඇති පැරණිතම රැකියාව කුමක් දැයි යමෙකුගෙන් විමසුවහොත් ඔවුන් විසින් ලබා දෙන පිළිතුර සීයයට සියයක් නිවැරදි වනු ඇත. මෙම වෘත්තීයේ ඉතිහාසය සමාජයේ ආරම්භ දක්වා ගමන් කරයි. මුල් කාලීනව ගණිකා වෘත්තිය ව්‍යාප්ත වූයේ ආගමික මුහුණුවරකින් බව ද සඳහන් වේ. ක්‍රි.පු 6 වන සියවසටත් පෙර සිට ග්‍රීසිය මුල් කරගෙන ආරම්භ වුණා යැයි පැවසෙන ගණිකා වෘත්තිය ඉන්දියාව සහ බටහිර අප්‍රිකානු රටවල් දක්වා ව්‍යාප්තව පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ මෙය සැඟවුණු වෘත්තියක් ලෙස ද පැවැති බවට සාක්ෂි තිබේ. බොහෝ කාන්තාවන් මෙම වෘත්තිය තෝරාගැනීමට දිළිඳුකම, නුගත්කම, ප්‍රේම සබඳතා බිඳ වැටීම, තරඟකාරී ආර්ථික රටාව, ලිංගික ආශාව අධිකවීම සහ විරැකියාව යනු කරුණු හේතු විය හැකිය. මෙලෙස ගණිකා වෘත්තිය තෝරාගන්න කාන්තාවන් සතුව ඇති අතීත කතා බොහෝය. ඔවුන්ගේ අරමුණු එකිනෙක වෙනස්ය. ගණිකාවන්ට ද සිතුම් පැතුම් නොයෙකුත් තිබේ. ඔවුන් ඒ සියල්ල පසෙක තබා විවිධ බාධක හමුවේ තම පවුල වෙනුවෙන් සිය ශරීරය කැප කිරීමට තීරණය කරන තරුණියන් ඔබ මා ජීවත් වන සමාජය තුළ හිසේ කෙස් තරමට සිටිති.


ලොව ඇති විශාල රටවල් ගොන්නට ඉන්දියාව එක් වන්නේ, විවිධ ජාතීන්, කුලයන්, ආගම්, සංස්කෘතියන් සහිත රටක් ලෙසය. ඔවුන් මෙවැනි සමාජීය වෙනස්කම් මත ජීවත් වන ඉන්දියානුවන්ගේ ආර්ථික ප්‍රශ්න බොහෝදුරට සමානය. විරැකියාවට සහ පවුලේ ඇති ආර්ථික ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් සෙවීමට බොහෝ තරුණියන් තෝරාගත් පහසුම මාර්ගය ගණිකා වෘත්තීයයි. මුම්බායි වැනි ප්‍රාන්තවල මෙය නීතිගත කර තිබේ. නීතිගත නොකර ඇති ප්‍රදේශවල මෙය හොර රහසේ හෝ පවත්වාගෙන යාම සිදු කරනු ලබන්නේ ඉන් ලැබෙන ආදයමත්, මින් ප්‍රයෝජනය ලබන පිරිසෙහි ද අඩුවක් නොමැති නිසාය. මා පෙර කී පරිදිම ඉන්දියාවෙහි පිහිටා ඇති ප්‍රාන්ත සියල්ල යා කරන මාර්ග කොපමණ තිබුණ ද ඉන් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ අධිවේගී මාර්ගය යි. ආන්ද්‍රා - තමිල්නාඩු අධිවේගී මාර්ගයට මේ අතරින් සුවිශේෂි ස්ථානයක් හිමි කර ගනු ලබන්නේ Torchlight එළිය නිසාමය. එම මාර්ගයේ ගමන් ගන්නා ලොරි රියදුරන් සමඟ යහන්ගත වීමට වීදි අභිසාරිකාවන් රැසක් මාර්ගය දෙපස සිටින නිසාය. අඳුරෙහි විදුලිපන්දම් ආලෝකයෙහි මෙම ගනුදෙනුව සිදු කරනු ලබයි. අතැඟිලි මගින් තම වටිනාකම අදාළ කාන්තාව විසින් තීරණය කරනු ලබන අතර ඊට එකඟ නම් ලොරි රථයේ සිටින රියදුරා විසින් සංඥාවකින් ගනුදෙනුව අවර කරනු ලැබේ. අධිවේගයේ සිදු වන මෙම ගනුදෙනුව සිදුවන්නේ ලොරි රථ රියදුරන් සමඟ පමණක් වීමත් විශේෂතවයකි.


මෙලෙස විදුලිපන්දම් ආලෝකය හරහා තම ජීවිතය ආලෝකමත් කරගැනීමට වෙහෙස දරණ නිලා නමැති තරුණිය සහ ඇයගේ පවුලේ පසුබිම, කුලවත්බාවය, ගණිකාවක් වූවත් ඇයගේ සුන්දරත්වයට වශී වී ඒක පාර්ශවියව ප්‍රේමය කරන තරුණයෙකුගේ ආදරය සම්බන්ධයෙන් කතා කළ චිත්‍රපටියක් ලෙස Abdul Majithගේ අධ්‍යක්ෂණයෙන් 2018 වසරේදී තිරගත වූ Torchlight චිත්‍රපටිය අදහස් කළ හැකිය. ගණිකාවක දුටු විට ඔවුන් දෙස බොහෝ අය අප්‍රසන්න බැල්මක් හෙළුව ද මා පෞද්ගලිකව සිතනුයේ ඇයට මෙම ජීවිතයට උරුමකම් කියනු ලබන්නේ කුමන හේතුවක් නිසා දැයි සොයා බැලීමටය. නමුත් වත්මන් සමාජයේ එවැනි දෙයක් සිතන පිරිස් අතලොස්සකි. බාලා ද එවැනි තරුණයෙකි. ඔහු නිලා ගණිකාවක බව නොදැන ඇයට ආදරය කරයි. ඇයට මෙවැනි ජීවිතයක් උරුම වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කරුණු සෙවීම හරහා නිලාගේ අතීතය හෙළි විය.


සිය සැමියාගේ ජීවිතය බේරාගැනීමට බිරිඳ ඕනෑම අභියෝගයකට සූදානමින් සිටින බවට බොහෝ ඉතිහාස මෙන්ම සාහිත්‍ය කතාවල ද සඳහන්ය. සැමියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට මාරයා සමඟ සටන් කළ කාන්තාවන් පිළිබඳව පවා අසා ඇත්තෙමු. නිලා ද එවැනි බිරිඳකි. ඈ සිය පියාගේ බලකිරීම මත තම ප්‍රේමයට අවසන් කටයුතු කර ඔවුන්ගේ කුලයේ කෙනෙකු සමඟ විවාහ වූවාය. ඔවුන්ට මෙම ජීවිතය සතුටින් ගෙවීමට සිදු වූයේ ඉතා කෙටි කාලයකි. ශන්මුගම් රෝගයකින් පීඩා විඳින්නට විය. ඔහුට අවශ්‍ය ඖෂධ ගැනීමට අධික මුදලක් වැය වූ අතර එය ලබාගැනීමට නිලාගේ තෝරාගත් මාර්ග ගණිකා වෘත්තියයි. ඇයගේ සමීපතම මිතුරියක මාර්ගයෙන් ඇය ද මෙම වෘත්තීයට පිවිසියාය. ඉන් ලැබෙන මුදලින් අවශ්‍ය ඖෂධ ගැනීමට නොහැකි වූ නිසා ම ඇය ද විදුලි පන්දමක් අතැතිව අධිවේගී මාර්ගයට ගියාය. ඇය මෙම උත්සහයෙන් ජය ගත්තා ද නැද්ද සම්බන්ධයෙන් මෙහි දී කතා කෙරුණි.


මෙම චිත්‍රපටිය හරහා වංශවත් යැයි සලකන කුලයෙහි සිටින පිරිමින් විසින් ගනු ලබන තීරණ හේතුවෙන් එම කුලය නියෝජනය කරනු ලබන තරුණියන් විඳින පීඩාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබීම විශේෂත්වයකි. ගණිකා මඩම් යැයි අප විසින් හඳුන්වනු ලබන එම නිවාස බොහෝ විට පරිපාලනය කරනු ලබන්නේ කාන්තාවන් ය. බොහෝ චිත්‍රපටිවල එවැනි පිරිස් බොහෝ දරදඬු අය ලෙස ප්‍රේක්ෂකයාට අධ්‍යක්ෂකවරයා හඳුන්වා දෙනු ලබන්නේ පීඩාවට පත් වූ තරුණියට අපගේ අනුම්කපාව ලබාදීමෙන් අරමුණින්ය. කෙසේ වෙතත් Abdul Majith ගණිකාවන් කෙරෙහි අනුකම්පාවක් දක්වන කාන්තාවක මගින් ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව වින්දිත තරුණියට පමණක් නොව සමස්ත අභිසාරිකාවන්ට ද උත්සහ ගෙන තිබුණි. එම කාන්තාවන් මුහුණ දෙනු ලබන දුක්ඛිත ජීවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබීම ප්‍රශංසා කළ යුතු කරුණකි. ගණිකාවන්ගේ දුක සැප සොයන බලන කේ.පී.ආර් වැනි චරිත තුළින් ඔවුන් සතුව ඇති මානුෂිය හැඟීම අප තුළත් ජනිත කිරීමට සමත්ව තිබේ.


අභිසාරිකාවන් යනු අන් අයගේ ආශාවන් තෘප්තිමත් කරන්නීයන් වුව ද ඔවුන්ට ද හැඟීම් දැනීම් ඇති බවට හැඟවීමට අධ්‍යක්ෂකවරයා විසින් අවස්ථා කිහිපයකදී උත්සහ කර තිබේ. එම අවස්ථාවන්හිදී ප්‍රේක්ෂකයා තුළ එම කාන්තාවන් කෙරෙහි යළිත් කරුණාව උපදවන්න සමත් වූවා යැයි කීමට හැකිය. එමෙන්ම සමාජයට යහපත් මුහුණක් පෙන්වමින් ජීවත් වන බොහෝ පිරිසකගේ ඇතුළාන්තය එසේ නොවන බවට ද අධ්‍යක්ෂකවරයා විසින් සාකච්ඡා කර තිබු ආකාරයක් දැක ගත හැකි විය. නිලාගේ සැමියාට ප්‍රතිකාර කිරීමට සූදානම් වන වෛද්‍යවරයා ඇයගෙන් ලිංගික අල්ලසක් බලාපොරොත්තු විය. ඒ හරහා එලෙස පෙනි සිටින සමස්ථයට පහරක් එල්ල කළා යැයි කීමට හැකිය. අප ජීවත් වන සමාජය අපගේ වැරදි පමණක් දැකීමට පුරුදුවී සිටිති. යම් කෙනෙකු ජීවිතය කඩා වැටුණු අවස්ථාවක පිහිටට නොඑන මෙවැනි පිරිස් ඔවුන් කුමක් හෝ ක්‍රමයකින් යළිත් නැගි සිටින විට මරු පහරක් එල්ල කිරීමට බලා සිටිති. නිලාටත් මෙම කරුණ පොදු විය. ඇයට පසුකාලීනව සමාජයෙන් එල්ල වූයේ අවලාද පමණයි. මෙහි ඇති දුක්ඛිතම කරුණ වන්නේ සමාජය සමඟ ඇයගේ සැමියා ද ඈට අවලාද නැගීමයි. ඒ සමඟම තම ජීවිතය බේරාගැනීමට සිය සිරුර කැප කළ නිලාට අත්වූයේ අනුවේදනීය ඉරණමකි. මෙම චිත්‍රපටිය හරහා ගණිකා වෘත්තිය දිරිමත් කිරීමක් සිදු කර ඇතැයි බොහෝ අය චෝදනා කළ ද, මෙය හරහා සිදු වූයේ දිරිමත් කිරීමක් නොව ඔවුන් විසින් සපයනු ලබන සේවයට නිසි වටිනාකමක් එක් කිරීමක් බව ලියුම්කරුගේ විශ්වාසයයි.


1970 වසරේදී තිරගත වූ Chetna නමැති බොලිවුඩ් චිත්‍රපටිය අනුසාරයෙන් සහ 1990 වසරේ තමිල්නාඩු - ආන්ද්‍රා අධිවේගී මාර්ගයේ සිදු වූ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මෙම චිත්‍රපටිය නිර්මාණය කර තිබේ. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන ලද්දේ, කලක් ඉන්දිය සිනමාවේ ඉතා ඉහළින් සිටි නිළියක වන සදා විසින්ය. 2015 වසරෙන් පසුව නැවතත් දමිළ සිනමාවට පැමිණි ඇයගේ වෙනස්ම වූ රංගනයක් මෙම චිත්‍රපටිය තුළින් අපට දැකගත හැකි විය. චිත්‍රපටියේ ඇති දර්ශන සහ දෙබස් සම්බන්ධයෙන් පැවැති විරෝධතා හමුවේ චිත්‍රපටි පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපටිය තිරගත කිරීමට අවසර දෙනු ලැබුවේ "A" සහතිකයක් යටතේය. චිත්‍රපටිය තිරගත වීමෙන් අනතුරුව පෙර පැවැති සියලුම චෝදනා වෙනස් කරමින් ධනාත්මක විචාර ගලා එන්නට විය. 90 දශකයේ සිදු වූ සිදු වීම් ආශ්‍රයෙන් මෙම චිත්‍රපටිය නිර්මාණයවී තිබු අතර ඊට කලා අධ්‍යක්ෂකවරයාගෙන් ලැබු සහය ඉතා ඉහළ මට්ටමක තිබුණි. එමෙන්ම චිත්‍රපටියේ ගලා යාමට කිසිදු බාධාවකින් තොරව සංගීත අධ්‍යක්ෂකවරයා විසින් ලබා දුන් පසුබිම් සංගීතය ගැන ද විශේෂයෙන් මතක් කළ යුතුය.


✍️ ජෙගන් ගනේෂන්

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]