ලෝකේ මෙච්චර කෙල්ලො ඉන්නද්දි ඇයි මම ජෙසීට ආදරේ කළේ...? - Vinnaithandi Varuvaya - 2010
අද ඇයගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනයයි, සාමාන්‍යයෙන් මෙලොව උපදින සෑම කෙනෙකුම තමන්ට වඩා එක් පුද්ගලයෙකුට දැඩි ලෙස ආදරය කරයි. මා ද එසේය. ඇයට මාගේ ප්‍රාණයට වඩා ආදරය කළෙමි. අද ඇයගේ විවාහයේ මා සිටිය යුතු තැන වෙනත් කෙනෙකු සිටියි. ඔහු සිටිය යුතු තැන මම සිටිමි. ඇය සුදු පාට වේල් එකත් සමඟින් මා පසු කර ගියේ සුරඟනක් සේය. අප දෙදෙනා අතර නොගැළපීම් බොහෝ තිබුණා. ඇය කතෝලික කෙල්ලෙකි. මම හින්දු කොල්ලෙකි. මගේ ජීවිතය සිනමාවයි. ඇයගේ පවුලේ පිරිස චිත්‍රපටිය නැරඹීම පාපයක් යැයි සිතයි. විශේෂයෙන්ම ඇය මට වඩා වැඩිමල්ය. මංගල පූජාව ආරම්භ වනවිට මම මාගේ සිතින් අතීතයට ගමන් කළෙමි. ඇයව මා දුටු පළමු දිනයේ සිට අවසන් දිනය දක්වා සිදු වූ සියලු සිදුවීම් මාගේ ඇස් තුළ සක්මන් කරන්නට විය. විවාහ චාරිත්‍ර පැවැත්වෙන අතරතුර මීට විරුද්ධ යැයි පැවසීමට මට අවශ්‍ය විය. නමුත් මා අසල සිටි මිතුරාගේ කීම අසා මා කරබාගෙන සිටියෙමි. ප්‍රථමයෙන් ඇයගේ අතින්නත ගැනීමට සූදානමින් සිටි ඔහු විවාහයට එකඟ යැයි පැවසීය. දැන් ඇයගේ වාරයයි. පියතුමා ඇයගෙන් විවාහයට එකඟ දැයි විමසීය. නමුත් එහිදී ඇය ලබා දුන්නේ මා බලාපොරොත්තු නොවු පිළිතුරකි. ඇය ඊට අකමැති බව ප්‍රකාශ කළාය. ඇයට මෙතරම් ධෛර්යයක් ලැබුණේ කෙසේ දැයි මා තුළම ප්‍රශ්න කළෙමි. පිළිතුරක් නොවිය. අද දක්වා ඇය මට ආදරය කරන බව ප්‍රකාශ කර තිබුණේ ද නැත. නමුත් මෙම ක්‍රියාවට හේතුව කුමක් දැයි මට කිසිවක් වැටහුණේ ද නැත.
ගෞතම් වාසුදේව් මේනන් නැතිනම් අප කවුරුත් සෙනෙහසින් ජී.වී.එම් ලෙස ආමන්ත්‍රණය කරන ඔහුගේ තවත් නිර්මාණයකි වින්නෛතාන්ඩි වරුවායා. සාමාන්‍ය සුරඟනන්, දේවතාවියන් ජීවත් වන්නේ දිව්යලෝකවලය. එසේ නොමැති නම් ජනප්‍රවාදවලට අනුව අහසේය. එම සීමාව පසු කර මා වෙත එනු මැනවි යැයි එය අර්ථ නිරූපණය කළ හැකිය.
2010 වසරේදී ජී.වී.එම් ගේ අධ්‍යක්ෂණයෙන් සිම්බු සහ ත්‍රිෂාගේ රංගනයෙන් තිරගත වූ මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මානලාභී රහුමාන් විසින් සංගීතයෙන් දායකවිය. සාමාන්‍යයෙන් දමිළ සිනමාවේ ආදරය කතාවලට වඩා තවත් වෙනස් කතාවක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. 100%ක් ආදරය සම්බන්ධයෙන් පමණක් කතා කළ චිත්‍රපටියකි මෙය. සාමාන්‍යයෙන් ගෞතම්ගේ චිත්‍රපටිවල තිබෙන ලක්ෂණය මෙහි ද අන්තර්ගතව තිබුණි. එනම් අන්තර්-වර්තී පුද්ගල සන්නිවේදනය බොහෝ අවස්ථාවල භාවිත කර තිබුණි. සමහර අවස්ථාවලදී එම උපක්‍රමය භාවිත කිරීම හේතුවෙන් එහි සිටින නළුවා හෝ නිළිය අප සමඟම සංවදයක නිතර වන බවක් ද හැඟවීමට අධ්‍යක්ෂකවරයා උත්සහයක නිතර වනවා විය හැකිය. ඔහු මෙම ක්‍රියාව හරහා නිතර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ද පැවසිය හැකිය.
එමෙන්ම යම් කිසි කෙනෙකු සම්බන්ධයෙන් අපට ආදරයක් ඇති විය හැකි ආකාර දෙකකි. ඉන් පළමුවැන්න දුටු විගස ප්‍රේමයක් ඇති වීම. මේ සම්බන්ධයෙන් චිත්‍රපටිය හරහා දැඩි ලෙස කතා කළ අධ්‍යක්ෂකවරයා විනාඩි කිහිපයක එහි දෙවන ක්‍රමය සම්බන්ධයෙන් ද කතා කර තිබුණි. නමුත් එය ප්‍රේක්ෂකයාට නිවැරදිව ග්‍රහණය කරගැනීමට හැකි වූයේ ද යන්න ගැටළු සහගතය. වින්නෛතාන්ඩි වරුවාය තුළ සාමාන්‍ය පෙම් කතාවක් තුළ අඩංගු විය යුතු සියල්ල අන්තර්ගතව තිබුණි. ආගම් භේදය, වයස් පරතරය, සිතුවිලි සියල්ලම මෙහි ඇතුළත්ව විය. නමුත් අධ්‍යක්ෂකවරයාට අවශ්‍යව තිබුණේ මොවුන් දෙදෙනා අතර ඇති වන ආදරය සහ ආදරය අධික වීම හේතුවෙන් ඇති වන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පමණය. ඉහත කරුණු සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කර තිබුණේ නම් මෙය හුදෙක් දමිළ සිනමාවට එක්වූ තවත් ආදර කතාවක් ලෙස එකතු වීමේ සම්භාවිතාව අධිකය. නමුත් අධ්‍යක්ෂකවරයා ඉන් මිදි සිටිමට ගත් උත්සහය අගය කළ යුතුමය.
විශිෂ්ඨ පිටපත් හමුවේ රංගන ශිල්පීන් අසාර්ථක වන්නේ නම් එම චිත්‍රපටිය හුදෙක් විහිළුවක් බවට පත්විය හැකිය. එවැනි අවස්ථා ද අප දැක ඇත්තෙමු. නමුත් මෙම චිත්‍රපටිය සඳහා තෝරාගනු ලැබු සිම්බු සහ ත්‍රිෂා සිය වගකීම නිසි අයුරින් ඉටු කර තිබුණි. අවුරුදු 23 ක තරුණියක ලෙස පෙනි සිටි ත්‍රිෂා තුළ එම තාරුණ්‍ය එලෙසම ගැබ්ව තිබුණි. 22 හැවිරිදි තරුණයෙකු ලෙස සිම්බුගේ ඉදිරිපත් කිරීමත් උසස් මට්ටමක තිබුණි. වින්නෛතාන්ඩි වරුවායා යන නම් කියු විගස අපගේ සිතට කාර්තික් සහ ජෙසි යන නම් දෙක පමණක් මතක් විය යුතුයි යන්න ජී.වි.එම්ගේ අදහස වන්නට ඇත. එම නිසාම සෙසු රංගන ශිල්පීන්ට මෙම චිත්‍රපටිය තුළ සිය හැකියාවන් පෙන්වීමට අධ්‍යක්ෂකවරයා විසින් එතරම් ඉඩක් ලබාදී තිබුණේ නැත.
මෙම සිනමා කෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී එහි සංගීතය සම්බන්ධයෙන් අමතක කරන්නේ නම් එය ඊට කරන අවතක්සේරුවකි. ඔස්කාර් සම්මානලාභී ඒ.ආර් රහුමාන් විසින් මෙම චිත්‍රපටිය සඳහා යොදනු ලැබු තණු අදට රසවිඳිය හැකිය. සමහර ගීත දෙවතාවකට වඩා ඇසීමට නොහැකි මට්ටමක පවතිද්දී, වසර 10 ක් ගත වුවද එදා තිබු එම නැවුම් ස්වභාවය අදට අපගේ දෙසවනට දැනෙන මට්ටමක තිබේ. මෙහි පසුතල නිර්මාණය මෙන්ම කැමරා කෝණ භාවිතය ද අතිවිශිෂ්ඨ මට්ටමක තිබුණි. සමහර දර්ශන අදටත් අප තුළම හොල්මන් කරනුයේ එහි ගැබ්ව තිබු නිර්මාණත්මකභාවය බැවින්ය.
✍️ ජෙගන් ගනේෂන්
Comments
Post a Comment