සෙක්ස් කියන්නේ අසභ්‍ය දෙයක් නෙවෙයි - Mastram Tv Series 2020



සෙක්ස් යන්න අසභ්‍ය දෙයක් නොවන බවත්, එය අපහාස අර්ථයකින් භාවිත කිරීම අසභ්‍ය දෙයක් වන බවත්, Chinthana Dharmadasa පසුගිය දිනක සිය සටහනක් දක්වා තිබුණේය. මා ද එම ප්‍රකාශය සමඟ එකඟ වෙමි. තාක්ෂණික දියුණුවක් සමඟින් අපට අවශ්‍ය කරුණුකාරණා ඇඟිලි තුඩ මත රැඳි තිබුණ ද, අප 2021 වසරට පිය තබා තිබුණ ද සෙක්ස් යනු තවමත් අපට මැජික් එකකි. වර්තමානයේදීත් එය මැජික් එකක් වූවා නම් 80 දශකයේ සෙක්ස් කියන කාරණාවේ තත්ත්ව කෙබඳු විය හැකි ද.? එම දශකයේ ජීවත් වූවන් සතුව එම අත්දැකීම් එමටය. අදාළ කාලසීමාව තුළ වර්තමානයේ මෙන් විවිධ වෙබ් අඩවි නොතිබු අතර එම දිනවල කා අතරත් සුප්‍රසිද්ධව තිබුණේ සගරා හෝ පොත්ය. ඒවා මිලදී ගැනීමට බොහෝ පිරිස් අසීමිත ලෙස කටු කෑහ. අපගේ ටියුෂන් ගුරුවරුන් ඉඳ හිට මෙවැනි අතීත කතා ද අපට පවසා තිබේ. එම කාලයේදී ඔවුන් පොතක් මිලදී ගැනීමට පිටකොටුව පුරා රබර් සෙරෙප්පු කුට්ටම ගෙවෙනතුරු ඇවිද ඇත. නමුත් අද තරුණ පරපුරට එවැනි අත්දැකීමක් නැතැයි මා විශ්වාස කරමි. ඒ ඔවුන්ට අවශ්‍ය දෑ මේ වනවිට දුරකතනයකින් ලබා ගැනීමේ හැකියාව පවතින නිසාය. එහෙත් වීඩියෝවකින් ලැබෙන ආස්වාදයට වඩා පොතකින් ලැබෙන ආස්වාදය අසීමිතය. එහි අදාළ පාඨකයාට චිත්තරූප මවා ගැනීමේ හැකියාව පවතින නිසාය. එහෙත් වීඩියෝවකින් එවැනි ආස්වාදයක් ලැබෙන්නේ නැත. එම අවස්ථාව නියෝජනය කරන්නේ නරඹන්නෙකු වන හේතුවෙන්ය. ඒ අනුව බලනවිට 80 දශකයේ උපන් පිරිස් වාසනාවන්තයෝ වෙති. එම අත්දැකීම වර්තමානයේ තාක්ෂණික ලෝකයක් තුළ ජීවත් වන අයට ලබාදීමට ගත් උත්සහයක් ලෙස කතාංග 10කින් යුතු Mastram tv series 2020 හඳුන්වා දිය හැකිය.


ඔබ කොපමණ උසස් සාහිත්‍ය නිර්මාණයක් බිහි කළ ද එය විකුණා ගැනීමට නොහැකි නම් ඉන් ප්‍රයෝජනයක් නොමැත. වර්තමාන ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ජීවත්වීමට නම් අපට මුදල් අවශ්‍යමය. එම නිසාම ඔබේ නිර්මාණ උසස් වූවත් ඉන් මුදල් ඉපැයීමට නොහැකි නම් එය කුණු බාල්දියකට සීමා වෙයි. ලේඛකයෙකු වන රාජාරාම්ට සිදු වූයේ ද එවැනි තත්ත්වයකි. ඔහුගේ සිහින වඩාත් උසස් සාහිත්‍ය නිර්මාණයක් බිහි කිරීමය. එහෙත් ප්‍රකාශකයාගේ අදහස මුදල් උපයා ගැනීමය. මෙම මත දෙක අතර ඇති වන ඝට්ටනයෙන් Mastram උපත ලැබුවේය. සාහිත්‍යකරුවා යනු තමන් දකින කුඩා දෙයකින් වූවත් නිර්මාණයක් බිහි කළ හැකි අයෙකි. රාජාරාම් ද තමන් එදිනෙදා ජීවිතය තුළ දකින සිදුවීමක් වස්තු විෂය කරගනිමින්, තම පරිකල්පන ශක්තිය භාවිත කරමින් ඔහුගේ පෑන් තුඩින් ඒවා සිදුවීම් ලෙස නම් රචනා කළේය. එම සගරාව කියවීමට සියලු දෙනාම පොරකන්නට විය. ඔහු එම කතා හරහා පාඨකයාගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කළේය. එය රාජාරාම්ගේ සහජ හැකියාවයි. මිනිස් ජීවිත කිසිදු දිනක පැතලි නොවේ. ඒවා විවිධ හැඩතලවලින් යුක්තය. රාජාරාම් ද එවැනි පුද්ගලයකි. ඔහුගේ කතා තුළ ලිංගිකත්වයේ අසහනය උපරිම මට්ටමක තිබුණ ද, ඔහු සැබෑ ජීවිතයේදී ඉතාම වෙනස් පුද්ගලයකි. වර්තමානයේදී අපට හමුවන බොහෝ චරිත එසේය. තමන් විසින් ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය තුළ ජීවත්වීමට දැඩි උත්සහය ගනිති. සමහර අවස්ථාවේදී ඒවා ප්‍රසිද්ධියේ බිඳ වැටෙන අයුරු ද අප දැක්ක ඇත්තෙමු.


ඔහු විසින් රචිත කතා අතර වැඩි ප්‍රමාණයක් තිබුණේ, උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් රචිත ඒවාය. මෙලෙස කාමුක කතා රචනා කළ ද ඔහු තුළත් තරුණියක කෙරෙහි ප්‍රේමයක් ඇති විය. එහි ගැබ්ව තිබුණේ ආදරය පමණය. කිසිදු අවස්ථාවකදී ඔහු සිය පෙම්වතිය කෙරෙහි අනිසි බැල්මක් නොහෙළුවේය. වර්තමානය වනවිට බොහෝ අය පෞද්ගලික මතය සහ වෘත්තීමය මතය පටලවාගෙන සිය ජීවිතය ගෙන යන අවධියක. සිය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය සියුම් රේඛාවකින් බෙදා වෙන් කරගැනීමට රාජාරාම් තුළ තිබූ ආත්ම ධෛර්යය ප්‍රශංසා කළ යුතුය. තම ප්‍රතිපත්ති සහ වෘත්තිය යනු එකක් නොව දෙකකි. ප්‍රතිපත්තිමය කරුණ මත පවතින ධනේෂ්වර ලෝකය සමඟ ජීවිකාව ගෙනයාමට නොහැකිය. එවැනි මාතෘකාවක් ද මෙම ටෙලි කතාමාලාව හරහා කතා කර ඇති ආකාරය අපූරුය.


සමාජය වෙත ලබා දිය යුතු පණිවුඩ ඒකකාරී රූප දර්ශනවලින් ලබාදීමට වඩා මෙවැනි ටෙලි නිර්මාණයක් හරහා ලබාදීමට එහි අධ්‍යක්ෂකවරයා සිතුවා විය හැක. එහෙත් සමාජය වෙත ලබා දිය යුතු පණිවුඩයට වඩා මෙහිදී ලිංගික සංසර්ගය යන කාරණාව වඩාත් ඉස්මතු වූ ආකාරයක් ද දැකගැනීමට හැකිවිය. කොටස් 10කින් සමන්විත මෙහි ලිංගික සංසර්ග දර්ශන සහිත ජවනිකා 10ක් පමණ විය. ඒවා එකිනෙක වෙනස් ඒවාය. ඒ තුළින් සමාජය තුළ පවතින ලිංගික අසහනය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණය කළ යැයි කීමට හැකියාව තිබේ. එහෙත් බොහෝ පිරිස් එහි ඇතුළත් ලිංගික දර්ශන ගැන සාකච්ඡා කළ ද ඉන් ලැබුණ පණිවුඩය අවශෝෂනය කරගත්තා ද යන්න සැකයක් මතු කරන කරුණකි. කාන්තාවන් දෙස ලිංගික අසහනයකින් බලන සමාජයේ ඇය තම ජීවිතය ගෙන යන්නේ කෙසේ ද, කාන්තාවගේ හැඟීම් තේරුම් ගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබුණි. එමෙන්ම ලිංගිකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ප්‍රමාණයම ආදරය, කරුණාව සහ දයාව වැනි දෑ ගැන ද මෙහිදී සාකච්ඡා කළ තිබු ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන් දෙමාපියන් නොමැතිව සිටින රාජාරාම් වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ ඔහුගේ මාමා. තම මිත්‍රයාගේ දුක සතුට බෙදාගන්න මිතුරන්, තම පෙම්වතා තමාට පමණක් ආදරය කළ යුතු යැයි සිතන පෙම්වතිය යන චරිත තුළින් මිනිස් ජීවිතයේ සියලු පැතිකඩ නියෝජනය කළෝය. ඉන්දියාව යනු සමාජය තමන් ගැන කුමක් සිතාවී ද යන මානසිකත්වයෙන් සහ සංස්කෘතිය පෙරට දමාගෙ ජීවත් වන ජන පිරිසක් ජීවත් වන රටකි. තුන්වන ලෝකයේ රටවල් රැසක් එසේය. ඔවුන් තමන් විසින් නිර්මාණය කරගන්නා සීමාවක් තුළ ජීවත් වෙමින් සිටිති. ඔවුන් ඉන් පිට යාමට දැඩි අකමැත්තක් දක්වති. එහෙත් Mastram තුළින් එලෙස සිටින ජනයාට පහරක් එල්ල කරනු ලැබිය.


ටෙලි කතා මාලාවේ අධ්‍යක්ෂ Harish Vyas විසින් සිය නළුනිළියන් සහ තාක්ෂණික ශිල්පීන් ඉතා හොඳින් හසුරුවා ඇති ආකාරයක් දැකගත හැකිය. විශේෂයෙන් මෙහි භාවිත වූ පසුබිම් සංගීතය ඉතා ඉහළ මට්ටමක තිබුණි. කතා මාලාවේ අඩංගු වූ ගීතයේ සංගීතය තනුව තවමත් දෙසවන් තුළ රැව් දෙමින් තිබේ. එමෙන්ම කැමරා භාවිතය ද ඉතා විශිෂ්ඨ මට්ටමක තිබුණි. ග්‍රාමිය පරිසරයක තිබෙන අලංකාරත්වය කැමරා කාචවල සටහන්ව තිබු ආකාරය ඉතා අපූරුය. එමෙන්ම අනෙකුත් දර්ශනවලදී භාවිත කර තිබු වර්ණ ගැනීම්ද ඉතා ප්‍රශංසනීය මට්ටමක පැවැතුණි. මෙවැනි ටෙලිකතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නළු නිළියන්ගේ රංගන හැකියාව විශ්මිත විය යුතුය. රාජාරාම්ගේ පෙම්වතියගේ රංගනයෙහි යම් අඩුපාඩුවක් දැක ගැනීමට හැකි වුව ද, එය රසවින්ඳනයට බාධාවක නොවෙයි. ඇයගේ රංගනය තුළ යම් අපහසු ගතියක තිබුණි. සෙසු චරිත නිරූපණය කළ සියලු දෙනාම තම වගකීමට නිසි අයුරින් ඉටු කර තිබුණි. විශේෂයෙන් මෙවැනි ටෙලිකතා මාලාවක් භාරගැනීමට ඔවුන් තුළ තිබු ධෛර්යයට ප්‍රශංසා කළ යුතුමය.

✍️ ජෙගන් ගනේෂන් 

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]