ගුරුවරයා සිසුන්ගේ මිත්‍රයා ලෙස කටයුතු කිරීමෙන් ඔවුන්ට යහපත් දේ පුරුදු කළ හැකිය - Nammavar 1994 Tamil
සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන සියලු දෙනාගේම එකම සිහිනය වන්නේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමය. නමුත් මෙරට තුළ පවතින ක්‍රමවේදය යටත් උසස් පෙළ සමත් වන සෑම සිසුවෙකුටම එම වරම හිමි වන්නේ නැත. විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත් පිරිසකට පමණක් එම අවස්ථාව ලැබෙයි. විශ්වවිද්‍යාල ජීවිතය තුළ තිබෙන සුන්දරත්ව සහ කටුකත්වය සම්බන්ධයෙන් එහි අධ්‍යාපනය ලැබුවන් සතුව පවතියි. විශ්වවිද්‍යාල තුළ පවතින දේශපාලනය එහි සිටින සිසුන් සතුව ඇති චින්තනය සම්බන්ධයෙන් විවිධ කාල සීමාවලදී විවිධ වූ නිර්මාණ බිහිවෙමින් පවතියි. එලෙස බිහි වූ නිර්මාණ අතර කාගෙත් මතකයේ රැඳෙන්නේ සීමිත නිර්මාණ සංඛ්‍යාවකි. එවැනි චිත්‍රපටියක් ලෙස 1994 වසරේ තිරගත වූ නම්මවර් (Nammavar) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය.
ඔබ විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන ඔබේ සිහිනය කරා යාමට තවත් පියවරක් ඉදිරියට තැබුව ද, ඇතුළත් වන විශ්වවිද්‍යාලය තුළ පවතින ක්‍රමයට ඔබට යටත් වීමට සිදු වෙයි. ධනවතුන්ගේ සිසුන් විසින් නිතරම සෙසු සිසුන්ව පාලනය කිරීමට පෙළඹෙයි. එවැනි විශ්වවිද්‍යාලයක පවතින ශිෂ්‍ය සංගම් මැතිවරණ සඳහා ද නිතරම එම ධනවතුන්ගේ දරුවන් ඉදිරිපත් වීමට උත්සහ දරති. මෙලෙස අධ්‍යාපනය බල්ලාට ගිය විශ්වවිද්‍යාලයකට මහචාර්යවරයෙකු ලෙස පත්වීම් භාරගෙන පැමිණෙන සෙල්වම් සහ එම විශ්වවිද්‍යාලයේ සිටින සිසුන් අතර ඇතිවන ගැටුම සහ ඒවා නිරාකරණ කිරීමට පියවර ගනු ලබයි. තරුණයින් යනු අමු මැටි වැනිය. ඉන් අවශ්‍ය භාණ්ඩය අප විසින් නිර්මාණය කරගත හැක. විශ්වවිද්‍යාල සිසුන් ද එසේය. ඔවුන්ගේ සමාජයට යහපතක් සිදු කිරීමට නම් අවශ්‍ය වන්නේ ඔවුන්ට නිසි මග පෙන්වීමක් පමණය. සමහර අවස්ථාවලදී දේශපාලනඥයින් එම තරුණයින්ව සිය වාසියට භාවිත කරන ආකාරය ද අප දැක ඇත්තෙමු. එවැනි භාවිත කිරීම් හේතුවෙන් සිය අධ්‍යාපන ජීවිතය නැති කරගත් පිරිස් අධිකය. මෙලෙස නොගම ගිය සිසුන් පිරිසකගේ ජීවිතය යහපත් තත්ත්වයට ගැනීම කොතරම් අපහසු කරුණක් වනු ඇති ද..? විශේෂයෙන් විශ්වවිද්‍යාල ජීවිතය තුළ නිතරම දබරවල මැදි වූ සිසුවෙකු මහචාර්යවරයෙකු ලෙස පත්වීම ලැබුවහොත් සිදු වන ප්‍රතිඵලය කෙලෙස වනු ඇති ද යන ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරක් ලෙස නම්මවර් හඳුන්වා දිය හැකිය.
අප සමාජයට පෙන්වන මුහුණට වඩා හාත්පසින් වෙනස් වූ පැතිකඩක් අපට තුළ නිතරම සැඟවී තිබේ. අපගේ කතානායකයා වන සෙල්ම් තුළ එවැනි වෙනම ස්වරූපයක් පැවතුණි. එහි අප සිතුවාට වඩා හාත්පසින්ම වෙනස්ය. ඔහු මරණ සඳහා ඇඟිලි ගනිමින් සිටියේ ය. මෙම කාරණාව ඔහු අන්අයට පැවසීමට මැළි විය. ඒ අන් අයගේ අනුකම්පාව තමන්ට අනවශ්‍ය යැයි ඔහු සිතු නිසාය. 2021 වසරේ ජීවත් වන අප පවා ලිංගික අධ්‍යාපනය තරුණයින්ට ලබාදීම සුදුසු දැයි තර්ක කරමින් සිටිමු. සිනමාව තුළ ද එවැනි දෑ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම දේව කෝපයට ලක් වන ක්‍රියාවක් ලෙස දකින පිරිස් අප අතර සිටිති. එහෙත් අදාළ චිත්‍රපටිය නිර්මාණය කරන කාල සීමාවේදී පවා අධ්‍යක්ෂකවරයා විසින් අදාළ කරුණ ඉස්මතු කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළ යුතුමය. වර්තමානයේදී විශ්වවිද්‍යාලය තේමාවක් කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටිය තුළ මෙවැනි රැඩිකල්වාදී අදහස් ගැබ්ව නොතිබු තරම්ය. විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රේමය පමණක් තේමා කරගනිමින් චිත්‍රපටි නිර්මාණය වූ යුගයක විශ්වවිද්‍යාලය ක්‍රමය තුළ පවතින දුර්වලතා සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් නිර්මාණය කළ අදාළ චිත්‍රපටිය ජනාදරයට පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික සම්මාන තුනක් සහ තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන දෙකකට හිමිකම් කියන ලදි.
චිත්‍රපටිය තුළ සියලු කරුණු ධනාත්මකව පැවතිය ද, පෙර දර්ශනය සහ පසු දර්ශනය අතර කිසිදු සම්බන්ධතාවයක් නොතිබු ආකාරයක් දැකගත හැකි විය. සිද්ධින් අතර ගැළපීමක් නොතිබුණි. එහෙත් එය චිත්‍රපටියේ රසවින්ඳනයට හෝ කතාවෙහි ගලායාමට බාධාවක් නොවිය. විශ්වවිද්‍යාලයේ ඉහළ මහලේ සිටි වැටුණු සිසුවෙකුට කුමක් සිදු වූයේ ද යන්න සම්බන්ධයෙන් සඳහන් කිරීමට පිටපත් රචකයා අපොහොසත්වී තිබුණි. සිසුන් අතර පැවැත්වෙන තරගවලට මහචාර්යවරයාගේ සහභාගීත්වය මෙහිදී ප්‍රශ්න කළ යුතුම කරුණකි. චිත්‍රපටිය පුරාවට පැවැති ගුරු ගෝල ගැටුමෙහි අවසානය සනිටුහන් වූ ආකාරය ගැන ද එතරම් පැහැදීමක් මා තුළ නොමැත. ඒ ගැටුම තවදුරටත් පවතිනවා යැයි හැඟවීමට අධ්‍යක්ෂකවරයා සිතුවා විය හැකිය.
1982 වර්ෂයේදී තිරගත වූ ක්ලාස් ඔෆ් 1984 (Class of 1984) නම් කැනේඩියානු චිත්‍රපටියේ අනුවර්තනයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කෙසේ වෙතත් නම්මවර් චිත්‍රපටිය පසුකාලයේදී Professor Viswam යන නමින් තෙළිගු බසින් හඬ කැවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, නම්මවර් චිත්‍රපටිය හරහා ලැබුණු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 9.75කි. මෙම චිත්‍රපටිය තිරගත වී වසර 26ක් ගතව තිබුණ ද, අද එය නැරඹුව ද ඉන් ලැබෙන්නේ නව්‍ය අත්දැකීමකි.
නම්මවර් චිත්‍රපටිය තිරගත වී වසර 26ක් ගතව තිබුණ ද, යළිත් මෙම චිත්‍රපටිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු වූයේ, ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණයෙන් තිරගතවීමට නියමිතව ඇති මාස්ටර් චිත්‍රපටියෙහි ටීසර් පටය නිකුත් කිරීමත් සමඟය. බැලු බැල්මට එම ටීසර් පටයෙහි අඩංගු කරුණු සහ නම්මවර් චිත්‍රපටියෙහි කතාව අතර බොහෝ සමානතා පැවතුණි. විශේෂයෙන්ම ලෝකේෂ් යනු කමල්හසන්ගේ රසිකයෙකු බව අප දනිමු. ඔහුගේ පෙර චිත්‍රපටිවල චරිත ද කමල්හසන්ගේ සත්‍යා සහ විරුමාන්ඩි යන චිත්‍රපටිවල චරිත අනුසාරණයෙන් රචනා කර තිබු ආකාරයක් දැකගත හැක විය. මානගරම් චිත්‍රපටියේ ප්‍රධාන නළුවාගේ කොණ්ඩ විලාසිතාව සත්‍යා චිත්‍රපටියේ කමල්ගේ කොණ්ඩ විලාසිතාවට සමාන විය. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ ගතිගුණ ද සමාන ය. කෛදී චිත්‍රපටියේ ප්‍රධාන නළුවාගේ බිරිඳ මිය යන ආකාරයත් විරුමාන්ඩි චිත්‍රපටියේ, කමල්ගේ බිරිඳ වන අන්නලක්ෂ්මි මිය යන ආකාරයත් සමානය. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ නළලේ විභූති තවරා තිබු ආකාරයත් සමානය. ඔවුන් දෙදෙනාගේම දැඩි ආගමික විශ්වාසයන් අනුගමනය කරන්න බව ද පෙන්නුම් කර තිබුණි.
✍️ ජෙගන් ගනේෂන්
Comments
Post a Comment