සැමියා සමඟම අහිමිව යන කාන්තා අයිතිවාසිකම
තිලකය යන්න මංගල ලක්ෂණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය. දෙමළ යුවතියන්ගේ නළලෙහි දැකිය හැකි මෙය ඔවුන්ගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත්ය. විශේෂයෙන් හින්දු දහම විශ්වාස කරන පිරිස් අතර තිලකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එහිදී පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ නළලෙහි මෙය අධික ලෙස දැකිය හැකිය. කාන්තාවකගේ නළෙහි තිලක තුනක් තිබිය යුතු යැයි සඳහන්ය. කෙසේ වෙතත් එය අනිවාර්යය නොවේ. දෙමළ තරුණියන් නළලෙහි මැද එක් විශාල තිලකයකුත්, ඇස්බැමි එකතු වන ස්ථානයේ මදක් කුඩා තිලකයකුත් තැබිය යුතුය. මේවා සම්ප්‍රදායික ලක්ෂණ යැයි පැවසුව ද ඒ තුළ විද්‍යාව ද ගැබ්ව තිබේ.
මිනිස් මොළයට ස්නායු පද්ධතිය තුළ හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. එහි හෝර්මෝන නිෂ්පාදන ක්‍රියාවලිය භාරව තිබෙන්නේ, පිටියුටිරි ග්‍රන්ථියටය. එම ග්‍රන්ථිය සහ නළල මධ්‍යයෙහි තබන තිලකය අතර ඇත්තේ සුවිශේෂි සබඳතාවයකි. අප විසින් තිලකය තැබීමට නළල පිරිමදින විට පිටියුටිරි ග්‍රන්ථිය යම් උත්තේජනයක් ලබන අතර එම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් වන බව සඳහන්ය. එමෙන්ම ශිව දෙවියන් සතුව ඇති තෙවැනි ඇස ලෙස ද මෙම තිලකය නම් කළ හැකිය. අනෙක් තිලකය ඇහි බැමි ද්විත්වය එකතු වන ස්ථානයේ තබනු ලැබේ. එම තිලකය හරහා මොළයේ ඇති සියලු ස්නායුවලට උත්තේජනය ලැබෙන බවත්, මොළයෙහි ක්‍රියාකාරීත්වය යහපත් කරන බවත් පැවසේ. මෙම තිලකයන් ද්විත්වයට වඩා විශේෂිත තිලකයක් ලෙස හිස ආරම්භ වන ස්ථානයේ තබන තිලකය හඳුන්වා දිය හැකිය. එහි ඇති විශේෂත්වය නම් එය විවාහක කාන්තාවන්ට පමණක් හිමි වීමය.
උපතේ සිටම තරුණියන්ට හිමි වන මෙම තිලකයන් ඇයගේ නළලෙන් අකාලයේ ඉවත් කිරීමේ සිදුවීම් අනන්තවත් වාර්තා වෙමින් තිබේ. ඔබ මා පය ගසා සිටින පොළොවේ ද එය අසීමිතව සිදුව ඇත. දේවත්වයෙන් පිදුම් ලබන කාන්තාවට තම සැමියා අහිමි වීමෙන් පසුව ඇයට සිදු වන්නේ නිවසේ මුල්ලකට වී සිටීමටය. එමඟින් සිදු වන්නේ කාන්තාවකට හිමිව ඇති අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. මෙරට තුළ පැවැති තිස් වසරක සිවිල් යුද්ධය හේතුවෙන් අකාලයේ සිය තිලකය අහිමි කරගත් තරුණියන් රැසක් උතුරේ සිටිති. මෙම කරුණ සම්බන්ධයෙන් කතා කිරීමට නියමිත නව නිර්මාණය ලෙස නවයුගා ගේ රංගනයෙන් තිරගත වීමට නියමිත පොට්ටු කෙටි චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. මෙම නිර්මාණයේ මූලික අරමුණවී ඇත්තේ, තිලකය සහ කාන්තාවන් අතර පවතින දුර්මතයන් ඉවත් කර ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීමය.
සැමියා අහිමි වූ කාන්තාවට සිය නළල යළිත් තිලකයකින් අලංකාරවත් කරගැනීමට හැකි ද යන සාකච්ඡාව ඈත අතීතයේ සිට පවතින්නකි. කෙසේ වෙතත්, තිලකය යනු ඇයගේ මවගේ ගෙදරින් ලැබුණ දායාදයකි. සැමියාගෙන් ලැබෙන්නේ තෙවන තිලකය පමණයි. එනම් සෙසු තිලකයන් ද්විත්වය ඇය සිය සැමියා මියගිය පසුව ද තබාගත හැකිය යන්න බොහෝ පිරිස් දරණ මතකයකි.
වැන්දඹු කාන්තාවක් තිලක තැබීම තුළින් ඇයට සමාජයෙන් ලැබෙන අවලාද අසීමිතය. රට වට කර වැට බැන්ඳ ද, කට වට කර වැට බැඳීමට නොහැක යන කියමන අප ඉදිරියේ යථාර්තයක් වන්නේ එවැනි අවස්ථාවකදීය. කෙසේ වෙතත්, ස්වාමිපුරුෂයා අහිමි කරගත් කාන්තාවගේ නළලෙන් තිලකය ඉවත් කරනු ලබන්නේ, ඇයගේ ආරක්ෂාව පිණිස බවත් යමෙකුට තර්ක කළ හැකිය. එනම් වෙනත් පුරුෂයින් ඇයට ළං වීම මෙම ක්‍රියාවලිය තුළින් වළක්වනු ලබන බව ද සඳහන් ය.
බොහෝ පිරිස් තමාට අයිතිව තිබෙන අනන්‍යතාවය අවමානයක් ලෙස සලකා ඉවත දැමු කාලයක් ද මෙරට තුළ තිබුණි. මාගේ මව කිසිදු දිනක තිලකයක් තබාගෙන ගමන් කරන අයුරු මා දැක නැත. ඊට හේතුව මා විමසු විට ද ඇය කියා සිටියේ, පසුගිය වසර 30 තුළ රට තුළ පැවැති සිවිල් යුද සමයේදී ඇය ලැබු අත්දැකීම් සමඟ මෙම තීරණය ගත් බවය. එනම් ඇය බස් රථවලදී ,රෝහලේදී, සහ විවිධ වූ කාර්යාවලදී මුහුණ දුන් අමිහිර මතකයන් ඊට හේතුවක් වන්නට ඇත. එමෙන්ම වර්තමානයේදී පවා මාගේ මිතුරියක ද එවැනි අත්දැකීම් කිහිපයකට මුහුණ දුන් බව මා සමඟ කියා සිටියා ය. ඒ සම්බන්ධයෙන් වෙනම පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව මාගේ අදහසයි.
නවයුගා රාජ්කුමාර්ගේ අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් නිර්මාණය වන පොට්ටු චිත්‍රපටිය මෙම සමාජය තුළ පවතින දුර්මතවලට හොඳ පිළිතුරක් වනු ඇත. එමෙන්ම පාර්වතී මෑණියන්ගෙන් ලද දායදයක් වන තිලකය එසේ නොමැති නම් “පොට්ටු” කාන්තාවකගේ නළලෙන් ඉවත් කිරීමේ හැකියාව කිසිවෙකුටත් නොමැති තරම්ය.
✍️ ජෙගන් ගනේෂන්
Comments
Post a Comment