අතුරුදන් වූ පුතාව සොයා හිස් ලූ අත ඇවිදින පියා







තමන් මිය ගිය පසුව අවසන් කටයුතු කිරීමට පුතෙකු අවශ්‍ය යැයි සිතු දෙමාපියන් පුතෙකු බිහි කිරීම සිය ඒකායන අරමුණ කරගෙන සිටියහ. පුතෙකු බලාපොරොත්තුවෙන් ගැහැනු දරුවන් කිහිප දෙනෙකු සිටිය ද, තවත් දරුවන් වැදු දෙමාපියන් ගැන අප අනන්තවත් අසා ඇත්තෙමු. අදාළ කාරණය ඈත අතීතයේ සිට පවතින්නක් විය. අතීතයේ දෙමාපියන් මිය ගිය පසුව ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරන ලැබුවේ පුතා විසින්ය. එකල සමාජය තුළ කාන්තාවන්ට නොඑසේ නම් දියණියන්ට සොහොන තුළ පැමිණීමට තහංචි පනවා තිබුණි. අදටත් ඈත පිටිසර ගම්වල මෙය ක්‍රියාත්මකය. ඊට හේතුව කුමක් දැයි මා නොදනිමි. ප්‍රශ්න නොඅසා එකඟවී සිදු කරන ක්‍රියාවන්වලට අප සම්ප්‍රදාය යැයි කියමු. මෙය ද එවැනි සාම්ප්‍රදායික දෙයකි. මෙලෙස දෙමාපියන්ගේ අවසන් කටයුතු කිරීමට සිටින පුත්‍රයා ඔවුන්ට පෙර මිය ගියහොත් එසේ නොමැති නම් අතුරුදන් වූවහත් ඔවුන්ට දැනෙන හැඟීම කෙබඳු වනු ඇති ද..? ඔවුන් තම පුත්‍රයා සොයා හිස හැරුණු අත ඇවිද යනු ඇත.

එවැනි පියෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙහි යම් කතා බහක් නිර්මාණය කර තිබුණි. එය පොත්තුවිල් සිට පුලිකන්ඩි දක්වා උතුරේ දේශපාලනඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබු විරෝධතා පාගමනක අවසානයේදී ගන්නා ලද ඡායාරූපයකි. විරෝධතාකරුවන් භාවිත කළ කහ සහ රතු පැහැති කොඩියක හිසෙහි බැඳ, කළු පැහැති ඇඳුමකින් සැරසි, සෙරෙප්පු නොදා දැඩි ලෙස ඉදිමුණු පාදයන් සහිතව, සිය පුතාගේ ඡායාරූපයක් තුරුල් කරගෙන ඇවිද ගිය ආකාරයක් කැමරා කාචයක සටහන්ව තිබුණි. ඔහු කිලිනොච්චියේ, උදය නගර් නමැති ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. දේවේන්ද්‍රන් නමැත්තෙකි. 2008 දී හමුදා භාරයට පත් වූ රධීෂ් නමැති සිය පුත්‍රයා සොයමින් තවමත් ඇවිදිමින් සිටින පියෙකි ඔහු.

09 ශ්‍රේණිය දක්වා පාසැල් අධ්‍යාපනය ලද රධීෂ්, යුද්ධයෙන් දැඩි ලෙස පීඩා විඳි අයෙකි. පැවැති යුද්ධය හේතුවෙන් ඔහු සිය අධ්‍යන කටයුතු අතරමැද නතර කර දැමුවේය. අනතුරුව ජීවිකාව ගෙන යාම සඳහා ගරාජයක සහ මේසන් බාස් කෙනෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. කාලය ගතවීමත් සමඟ යුද්ධය දරුණු අතට හැරෙමින් තිබුණි. දෛවෝපගත සිදුවීමක් ලෙස ඔහුට ද යුද්ධයට සම්බන්ධවීමට සිදු විය. හමුදා වෙඩි පහරකින් වම් පාදයේ තුවාල ලත් රධීෂ් හමුදා භාරයට පත්වූයේ, 2008 ජුනි මස 22 වන දිනය. එම අවස්ථාවේදී ඔහු සමඟ එකී ස්ථානයේදී හමුදා භාරයට පත් වූ සංඛ්‍යාව 4කි. ඒ අතර තරුණියක ද සිට ඇත. කෙසේ වෙතත් ඇය පසුව මිය ගොස් ඇති බව රධීෂ්ගේ දෙමාපියන් පවසති. පෙරදී රධීෂ් තුවාල ලබා හමුදා භාරයට පත් වූ බව දේවේන්ද්‍රන් විශ්වාස නොකළේය. අනතුරු එම සිද්ධිය සැඟව සිටසියැසින් දුටු තරුණියක පැවසීමෙන් අනතුරුව ඔවුන්ගේ සිත් තුළ තමන් පුත්‍රයා යළිත් තමන් හමුවීමට පැමිණෙනු ඇතැයි විශ්වාසයක් ඇති විය.

රධීෂ්ගේ දෙමාපියන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරනු පිණිස ඔහු සමඟ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව නිදහස ලැබු තරුණයෙකු ද රධීෂ්ව දුටු බව ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම මැගසීන් බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවන් 107 දෙනා අතර රධීෂ්ගේ විස්තර තිබු බව දේවේන්ද්‍රන් පවසයි. මෙලෙස විශ්වාසවන්ත කිහිප දෙනෙකුගෙන් ලද තොරතුරු මත තම පුතා කුමක් හෝ කඳවුරක සිට කෙදින හෝ නිදහස්වී නැවත පැමිණෙනු ඇතැයි යන විශ්වාසයෙන් ඔහු ජීවිතය ගෙවන්නේය. ඔහු මිය ගොස් යැයි පණිවුඩයක් ලැබුණ ද තමාට නිදහසේ මිය යාමට හෝ හැකියාව තිබේ යන්න ඔහුගේ අදහසය.

යුද්ධයෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සෙවීමට පත් කළ සෑම කාර්යලයක් වෙතම ඔහු ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් වෙත පවා තම පුත්‍රයා සොයා දෙන ලෙස ඉල්ලා ලිපි භාරදීමට ද ඔහු කටයුතු කළේය. එපමණක් නොව යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මෙන්ම වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද ඔහු සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබුණ ද කිසිදු රජයක් විසින් ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දුන් ලිපියෙන් අනතුරුව පොලිසියෙන් පැමිණි විමසීමක් කළ ද ඊට කුමක් සිදු වුණේ දැයි ඔවුන් නොදනිති. තමාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් බිරිඳ තමන්ට පිස්සු යැයි නිතරම බනින බවත් ඔහු පවසයි. බිරිඳ කුමක් කීව ද තම පුතා සොයාගැනීම ඒකායන අරමුණ කරගත් ඔහු හිස හැරනු අත ගමන් කරමින් සිටියි.

මේ වනවිට දේවේන්ද්‍රන් දෙපළ නව නිවාසයක ජීවත් වෙමින් සිටියද, එහි රධීෂ් වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කර තබා තිබේ. එහි ඇති අල්මාරියක පොලීතින් උරයක් තුළ රධීෂ්ගේ කලිසම් සහ කමිස කිහිපයක් දමා ආරක්ෂා කරන්නේ, සිය පුතා මතක් වූ විට රැගෙන බැලීමටය. එම ඇඳුම් තුළ ඔහුගේ සුවඳ තමවත් ඔවුන්ට දැනෙනු ඇති බවට මා විශ්වාස කරමි. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මිය යාමට පෙර එක් වරක් හෝ සිය දරුවාගේ මුහුණ දැකීමය.

යුද්දය නිමාවී වසර 10කට වැඩි කාලයක් ගතව තිබුණ ද අතුරුදන් වූවන් ගැන පත් වූ රජයන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළහ. මේ හේතුවෙන්ම මෙම ජනයාට රජය කෙරෙහි තබා තිබු විශ්වාසය දිනෙන් දින බිඳවැටෙමින් තිබේ. ඔවුන් එක්සත් ජාතීන්ගේ පිහිට පතන්නේ ද මෙරට බලයට පත් වූ ආණ්ඩු කෙරෙහි තිබු විශ්වාසය බිඳ වැටී තිබීම හේතුවෙන්ය. යුද්දයේදී අතුරුදන් වූවන් කෙරෙහි රජයෙන් විමසු විට ඔවුන් දෙන පිළිතුරු එම අය විදේශ ගත වන්නට ඇති බවයි. එසේ නම් එම පිරිස් යළි ලංකාවට ගෙන්වා ගැනීම රජයේ වගකීමක් නොවේ දැයි රධීෂ්ගේ දෙමාපියන් ප්‍රශ්න කරති. රජය ඊට නිහඬ පිළිවෙතක් අනුගමන කිරීම කණගාටුදායකය. ඔවුන් මිය ගොස් නම් අවම වශයෙන් මරණ සහතික නිකුත් කිරීමට රජයට පියවර ගත හැකිය. එහෙත් එය එලෙස සිදු නොවීය. මෙලෙස සිය දරුවන් සොයමින් ඇවිදින දෙමාපියන් එකිනෙකා හොර රහසින්ම මෙලොව ජීවිතයට සමුදෙමින් සිටිති. දරුවන් සොයා පාරවල් ගානේ රස්තියාදු වීමට මෙරටට අලුත් දෙයකුත් නොවේ. 70 දශකයේ සහ 80 දශකයේ මෙවැනි සිදුවීම් දෙකකට දකුණේ දෙමාපියන් මුහුණ දුන්නෝය. ඔවුන්ට ද යුක්තියක් ඉටු වූයේ නැත. එය නැවතත් උතුරේ සිදුවෙමින් පවතියි. ඊට යුක්තිය ඉටු වනු මා ඇද්දැයි නොදනිමි.


මූලාශ්‍රය - විකල්ප

ඡායාරූපය - Santhirasegaran Santhuru

✍️ ජෙගන් ගනේෂන් 

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]