රටේ ආර්ථිකය වෙනුවෙන් ගෙදර ආර්ථිකය පාඩු කරගත් මිනිසුන්ගේ දුක





තම රට, ජාතිය, මිත්‍රයින් සහ ඥාතීන් අමතක කර වෙනත් රටක් දියුණු කිරීමට උර දුන් ජනතාවට නිතරම හිමි වූයේ, දුක පමණය. මැතිවරණයේදී ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුවත්, සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුවත්, වතුකරයේ ජීවත් වූ ජනයාට ලැබුණේ අමිහිරි මතකයන් පමණය. කලකට පෙරදී ඔවුන්ට දේශපාලනික අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබිය. වසර 200කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙලින් කිරීමට තේ කූඩය පිට එල්ලාගෙන කුදු තත්ත්වයට පත් වූ ජනතාවක් ලෙස ඉන්දියානු සම්භවයක් සහිත වතුකම්කරුවන්ව හඳුන්වා දිය හැකිය.

අහස උසට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යන විට සිය දෛනික වැටුප රුපියල් 05 දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා ඔවුන් ඈත අතීතයේදී පාර බැස්සහ. අතීතය තවමත් වෙනස්ව නොමැත. දෛනික වැටුප රුපියල් 1000 කරගැනීමට නැවතත් ඔවුන් අරගලයක් දියත් කළහ. ඔවුන්ට කිසිවක් බන්දේසියක තබා ලැබුණේ නැත. සියල්ලම දිනාගනු ලැබුවේ වසර ගණනක් පුරාවට සිදු කළ දීර්ඝ අරගල මගින්ය. ඒවා ලැබුණේ ද විවිධ දේශපාලකයින් තම මඬිය තරකර ගැනීමෙන් අනතුරුවය.

වතුකරයේ ඇත්තේ, වෛද්‍යවරුන් නොමැති රෝහල්, ගුරුවරුන් නොමැති පාසල්ය. ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් කතා කිරීම විහිළුවක් පමණය. මෙවැනි විවිධ දුක්ඛිත ජීවිතයක් ගත කරන ඔවුන් හමුවේ පැවති දරිද්‍රතාවයට පිළිතුරක් ලෙස නවයොවුන් වියට පත් වූ සිය දරුවන්ව කොලම්තොටට පිටමං කිරීමට දෙමාපියන්ට සිදු විය. අකමැත්තෙන් වූව ද වතුකරයේ සිටින තම දරුවාගේ මාර්ගයෙන් නිවසේ බර යම් ප්‍රමාණයකට හෝ අඩු කරගැනීමට සිත ගලක් කරගනිමින් සිය දියණියව හෝ පුතාව කොළඹට පිටත් කළහ. දුක්ඛිත ජීවිතයෙන් මිඳීමට ලැබුණ මහඟු අවස්ථාවක් ලෙස සමහර විට දෙමාපියන් සිතුවා විය හැකිය.

මෙලෙස සිය නිවසේ බර අඩු කිරීමට කොළඹ නිවසක ශ්‍රමිකයින් ලෙස පැමිණන දරුවන්ට වූයේ, කබලෙන් ලිපට වැටුණා වගේ සිදු වීමකි. සිය වයසට සිදු කිරීමට නොහැකි වැඩ කන්දරාවක් ඔවුන්ගේ හිස මතට වැටුණි. උදෑසන පහට පෙර අවදි වන එම දරුවන් සමහර විට රාත්‍රීයේදී නින්දට යන්නේ රාත්‍රී 12ත් පසුවීමෙන් අනතුරුවය. විවිධ අවස්ථාවලදී සිය මුදලාලි නෝනාගේ ගුටිබැට ලැබුණ අවස්ථා ද තිබුණි.

හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසක සේවය කරමින් සිටි බාලවයස්කාර දැරියක් පසුගිය 15 වනදා මිය ගියාය. ඇය විසින් ජූලි මස 03 වනදා සිය සිරුරට භූමිතෙල් වත්කරගමින් ලයිටරයකින් සිය සිරුරට ගිනි තබාගෙන ඇතැයි පොලිසිය විසින් සිදු කරනු ලැබු මූලික පරීක්ෂණවලදී අනාවරණ විය. අධිකරණයට ඉදිරිපත් කර තිබු වෛද්‍ය වාර්තාවේදී මෙම දැරිවිය අවුරුදු 12 සිට අපයෝජනයට ලක්ව ඇති බව සඳහන්ව තිබේ. මේ වනවිට මීට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ පරීක්ෂණ ඇත්තේ ඉතා මන්දගාමී මට්ටමකය. මෙය අදාළ පරීක්ෂණ කටයුතු දියාරු කිරීමක් යැයි හැඟේ. මෙහි විනිවිදභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද අද දිනයේදී චෝදනා කළේය. එමෙන්ම නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. සැබැවින්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතියි.

රට තුළ ව්‍යාප්තව ගිය කොරෝනා වසංගතය පාලනය කිරීමට රට අවස්ථා කිහිපයකදී වසා දැමීමට සිදු වූ අතර ඒ හේතුවෙන් වතුකරයේ සිටි බොහෝ අයට රැකියා අහිමි විය. ඔවුන්ගේ පොකට්ටුව හිස් විය. බඩ පිටට ඇලෙන මට්ටමකට පැමිණ තිබුණි. රටේ ආර්ථිකය ශක්තිමත් කළ ඔවුන්ට සිය නිවසේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙනත් අයෙකු ඉදිරියේ අතපාන්නට සිදුවිය. සිය මව විසින් රුපියල් 30,000කට හඳුනන කෙනෙකුගේ රන් ආභරණයක් උකස් කර ලබා ගත් ණය මුදල ගෙවීම සඳහා මිය ගිය දැරියට කොළඹට පැමිණ ඇත්තේ, දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙන විය හැකිය. සිය වැඩිමල් සහෝදරයා රැකියා අහිමිව නිවසේ සිටින විට තවත් බාල සහෝදරියක් ද සිටින ඇය නිවසේ බර අඩු කිරීමට පසුගිය නොවැම්බර් මාසයේදී ඇය මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණියාය. එහෙත් මාස 8ක කාලය තුළදී ඇයට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.

සැබැවින්ම මෙය අදාළ දැරිය සම්බන්ධයෙන් පමණක් වන ගැටලුවක් නොවන බව සිහිපත් කළ යුතුය. ගෙවි ගිය වසර පහක කාලයක් තුළ ඩයගම ප්‍රදේශයේ දරුවන් 10 ත් 15ත් අතර ප්‍රමාණයක් මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග පවසති. මීට දින පහකට පෙර ද, කොළඹ එක්තරා හමුදා නිලධාරීයෙකුගේ නිවසක සේවය කළ දරුවෙක් ද ජීවිතක්ෂයට පත් වූ බව ද සඳහන්ය. බදියුදීන්ගේ නිවසේ සේවයට පැමිණි දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරයාගේ පාර්ශවය රුපියල් ලක්ෂ දෙකක මුදලක් අදාළ තැරැව්කරුවා වෙත ගෙවා ඇති බව ද සඳහන් වේ. එමෙන්ම අදාළ නඩු කටයුතු මුදල් ගෙවා යට ගැසීමට ද මන්ත්‍රීවරයාගේ පාර්ශවය විසින් කටයුතු කරන බව සමාජ ක්‍රියාකාරීයෙකු මා සමඟ පැවසුවේය. දෙමාපියන් විසින් ලබා දෙනු ලබන ප්‍රකාශයන් එකිනෙකට පරස්පර වීම හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකයක් මතු කරයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වන අවස්ථාවක එම දැරිවිය විසින් සිය මවට ඇමතුමක් ගෙන තමන්ට වධහිංසා පමුණුවන බවත්, තමන්ව මෙම ස්ථානයෙන් කැටුව යන ලෙසත් ආයාචනා කළ බවත් ඇයගේ මව කියා සිටියාය. නිවසේ සේවයෙහි නිතරව සිටි තවත් තරුණයෙකු අදාළ දැරියට නිතරම වධ හිංසාවලට ලක් කර ඇති බව ද සඳහන්ය. ගින්නට දැඩි සේ බියක් දක්වන වන ඇය සිය සිරුරට ගිනි තබාගත්තා ද නැති නම් කවුරුන් හෝ ගිනි තැබුවා ද යන්න සැක සහිතය. අදාළ දැරිය විසින් ප්‍රථමයෙන් සිය දෙපාවලට භූමිතෙල් වත් කරගෙන ඇති බවත්, සියදිවි හානිකරගන්නෙක් ප්‍රථමයෙන් සිය හිසට භූමිතෙල් වත්කරගන්නා බවත් මන්ත්‍රී මනෝ ගනේෂන් අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.

මෙය ප්‍රශ්නය එක් දරුවෙකුට පමණක් සිදු වූ සිදුවීමක් ලෙස පටු කර දැක්වීමට මාගේ කැමත්තක් නොමැත. ශ්‍රී ලංකාව තුළ මෙවැනි සිදුවීම් බොහෝ සේ සිදුවෙයි. ඉන් වාර්තා වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙය ද එලෙස තවත් එක ප්‍රශ්න ලෙස නොසලකා ළමුන් සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් රට තුළ පවතින නීති තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය.

✍️ ජෙගන් ගනේෂන් 

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]