පිළිතුරක් නොලැබෙන පැනයකට පිළිතුරු සොයන ජනයාගේ කතාව - The Sixth Land



ශ්‍රී ලංකාවට පෙරදිග මුතු ඇටය යනුවෙන් හඳුන්වනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න මා නොදනිමි. නමුත් ඒ නම සහ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජනයා අතර විශාල සබඳතාවයක් තිබේ. අප මුතු සොයා යා යුතුය. එලෙසම මෙරට සිටින ජනයා ද විවිධ කාලවලදී, නොයෙකුත් දේවල් සොයා ඇවිදහ. විරෝධතා, උපවාස සිදු කළහ. යම් සෙවීම්වල සාර්ථක ප්‍රතිඵල ලැබුණ ද, ඇතැම් සෙවීම්, සෙවීම් පමණක්ම විය. සෙවීම පමණක් ජීවිතය කරගත් 90,000කට ආසන්න පිරිසකගේ එක් කතාවක් ලෙස අනන්ත රමනන්ගේ අධ්‍යක්ෂණයෙන්, නවයුගා සහ බාක්සී ඇතුළු පිරිසගේ රංගනයෙන් 2020 වසරේ දී තිරගත වූ ආරම් නිලම් (The Sixth Land) චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය. 

මෙරට තුළ දශක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් අරගලය නිමාවට පත්ව මේ වනවිට වසර 12ක් ගතවී තිබේ. එහෙත් එම අරගලයෙන් පරාජයට පත් වූ ජනයා දෛනිකව මුහුණ දෙන අරගල රාශීයක් තිබේ. ඒ අතර අතුරුදන් වූ තම ඥාතීන් සොයා යාම ද මොවුන්ගේ ජීවිතයේ එක් අංගයක් බවට පත්ව තිබේ. අතුරුදන් වූ තම සැමියා සොයා යන බිරිඳ සහ පියාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින දියණියක් වටා ගෙතුණ කතාවකි මෙම චිත්‍රපටිය. මෙය එක් අයෙකුගේ කතාවක් වූව ද, මෙලෙස ජීවිතය ගත කරන 90,000කට ආසන්න පිරිසක් උතුරු - නැගෙනහිර යන දෙපළාතේ සිටිති. මෙය ඔවුන්ගේ කතාවයි. 88/89 කාලයේ දී මීට ආසන්න සිදුවීම් දකුණේ ද සිදුවිය මෙය ඔවුන්ගෙත් කතාවකි. මෙම චිත්‍රපටියේ වස්තු විෂය මෙරට තුළ අරගලවලට සම්බන්ධ වී ආරක්ෂක අංශ භාරයට පත් වූ සියල්ලන්ගේම කතාවක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම කතාව ලොව සිටින ඕනෑම අයෙකුට තම පාර්ශවියේ කතාවක් ලෙස ආදේශ කරගැනීමට හැකිය. 

වර්තමානය වනවිට දකුණේ පිරිස් සිය ඥාතීන් සොයා හෙම්බත් ව නිහඬ වූහ. උතුරේ ජනයා හෙම්බත් ව නිහඬ වන තුරු මෙරට ජනරජයන් බලා සිටිම විහිළුවකි. එහෙත් උතුරේ ජනයා තම සෙවීම තවමත් අවසන් කර නොමැත. ඔවුන් සිය ඥාතීන් කෙසේ හෝ සොයා ගැනීමට විවිධ උත්සහයන් දරති. එම උත්සහයන් දකුණට සමීප කරවීමට මෙරට මාධ්‍ය අපොහොසත්ව ඇත. විවිධ කරදර බාධක මධ්‍යයෙහි තම ඥාතීන් සොයා යන උදවිය තම වාසියට භාවිතයට ගන්නා රාජ්‍ය නොවන සංවිධානවලට ද අසරණ ජනයාගෙන් මුදල් ගසා කා මඬිය තර කරගැනීමට සූදානමින් සිටින රාජ්‍ය නිලධාරීන්ට ද, තම ඉච්චාවන් ඉටු කරගැනීමට කාන්තාවන් වෙත ළං වන නිලධාරීන්ට ද මෙම චිත්‍රපටිය තුළ දැඩි විවේචනයක් එල්ල කර තිබීමක් දැකිය හැකිය.

මේ වනවිට යුද්ධය අවසන් ය. භූමිය ආරක්ෂා කිරීමට දෙපාර්ශවය විසින්ම වැළලු බිම් බෝම්බ එම ප්‍රදේශයේ ජීවත් වන අය ලවා ඉවත් කරවීමට දරණ උත්සහය තුළින් ජීවිතයක ඇති වටිනාකම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා ව්‍යංගර්ථයෙන් පවසා ඇත. භූමිය ආරක්ෂා කිරීමට වැළලු බිම් බෝම්බ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන ජනයාට භූගත ජල භාවිත අකැපය. රාජ්‍ය ආයතනවලින් ලබා දෙන ජලය ද සීමිතය. මෙලෙස එම ප්‍රදේශවල ජීවත් වන ජනයා විඳින දුක් කන්දරාවන් විනාඩි කිහිපයකට කෙටි කර දැක්වීමට චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා ගත් උත්සහය අතිසාර්ථකය. 

විශේෂයෙන්, එම ප්‍රදේශවල ජනයාගේ දුක වීඩියෝ කර ඒවා අලෙවි කිරීමේ උත්සහවල නිතර වන අයට මෙම චිත්‍රපටියේ දී, එක් දෙබසකින් කනේ පහරක් ගසා ඇත. එමෙන්ම දරුවන්ට තබා ඇති දෙමළ නම් වෙනස් කිරීමට අවශ්‍ය වැඩකටයුතු කරන ග්‍රාම නිලධාරීයා, ඒවා වෙනස් කරන ලෙස දරුවන් සිදු කරන ඉල්ලීම් යන කරුණු තුළින් වර්තමාන සමාජයේ ඇති ලක්ෂණ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගත හැකිය. ග්‍රාම නිලධාරීයාගේ කාර්යාලයේ සේවය කරන දෙමළ තරුණිය සිංහල තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යනු ලබයි. එම දර්ශනය තුළින් ජාතීන් අතර පැවති අවිශ්වාසය නැතිවී ගොස් යම් විශ්වාසයක් වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වීමට අධ්‍යක්ෂවරයා ගත් උත්සහයක් යැයි සිතමි.

බොහෝ හින්දු නිවෙස් තුළ, එක දිගට තබා ඇති දේව රූප බිත්තියේ එල්ලා තිබෙන අයුරු ඔබ බොහෝ විට දැක ඇතැයි සිතමි. නමුත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන නායිකාවගේ කටුමැටි නිවසේ එල්ලා තිබුණේ මිය ගිය අයගේ ඡායාරූපය. ඔවුන් තම ඉල්ලීම් දිනාගැනීමට ගොස් අහිමිකරගත් ප්‍රමාණය අධික යන්න ඉන් සංකේතවත් කෙරේ. සිය දෙමාපියන් සමඟින් පාසලට එන දරුවන් දෙස සහ මාර්ගය අසල සවි කර ඇති දැන්වීම් පුවරුව දෙස බලා සිටින තමිල්ගේ සිතේ ඇති සාංකාව නිරූපණය කරන ආකාරය ප්‍රශංසාවට ලක් කළ යුතුය. තමිල්ට තිබුණේ, සීමිත දෙබස් කිහිපයක් පමණයි. චිත්‍රපටිය පුරා තිබු දෙබස්වලට වඩා ඒවා ප්‍රබලය. 

මින් පසුව ඔබට සතුටින් සහ නිදහසේ ජීවිත් විය හැකිය යන දෙබසකින් චිත්‍රපටිය ආරම්භ කරයි. එය මෙරට තුළ පවතින ජනප්‍රිය මතයට එල්ල කළ දැඩි පහරකි. එම ජනයා දෛනිකව සමාජීය, ආර්ථික සහ දේශපාලනමය වශයෙන් විවිධ කරදරවලට මුහුණ දෙමින් සිටිති. සිනමා පටය හරහා එවැනි කරුණු දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් කර තිබේ. දේශපාලනඥයින් තමන්ව දේශපාලන ඉත්තන් බවට කරගෙන සිටින බවට මේ වනවිට ජනයා වඩාත් හොඳින් වටහගෙන ඇති බවට හේත්තු ගන්වන නිර්මාණයක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකිය. 

චිත්‍රපටිය පුරා විසිර තිබුණ පසුබිම් සංගීතය අතිවිශිෂ්ඨය. එමෙන්ම කැමර අධ්‍යක්ෂණය සහ සංස්කරණය ද ඉතා ඉහළ මට්ටමක තිබුණි. මෙරට තුළ මෙවැනි නිර්මාණයක් බිහි වීම සම්බන්ධයෙන් මා බෙහෙවින් සතුටට පත්වෙමි. මේ වනවිට අදාළ චිත්‍රපටිය අයි.බී.සී ටැමිල් යූ-ටියුබ් නාලිකාව හරහා නැරඹීමේ අවස්ථාව ලබා දී තිබේ.

චිත්‍රපටිය නරඹන්න 

 ✍️ ජෙගන් ගනේෂන්

Comments

Popular posts from this blog

සෑම තැනකදීම අසාධාරණයට ලක් වූ වතුකරයේ ජනයාගේ සිනමාවක අවශ්‍යතාවය - Video

1981 දෙමළ සාහිත්‍ය සංහාරය | සහෘදස්පන්දන මැයි - ජූනි කාලපය 2022

අප්පගෙයි - පුතාගෙයි අමුතුම Friendship එක - [Aelay (2021) - Tamil ]